Wednesday, 13 December 2017

දේශ ද්‍රෝහියා ගේ ගොළු වූ හදවත


දේශ ද්‍රෝහියගේ නිර්මල හෘදය 
ඈත අතීතයේ එක්තරා දිනෙක බොළඳ යෞවන ප්‍රේම වෘත්තාන්තයක් "ගොළු හදවත" යන නමින් කියෙව්වා මතකය. එය ලියා  තිබුනේ කරුණාසේන ජයලත්ය. ඒ පොතේ සඳහන් ආදර අන්දරය නවසිය හැට ගණන් වල කතාවක්  වුවද අසුව දශකයේදී කියවූ අපට එහි කිසියම් සමීප බවක් තිබුණි. ඒ ගොළු හදවතේ "දම්මි තවමත් ආදරෙයි"  ගීතයත් සමග යයි සිතේ.

මාත් දන්නා හඳුනන තරුණ ලේඛිකාවක වන තරංගනී රෙසිකා ප්‍රනාන්දු විසින් ලියන ලද්දා වූ ගොළු වූ  ප්‍රේමයක් ගැන පොතක් නොබෝදා කියවුයෙමි. මේ ප්‍රේමය ගොළු වූයේ එදා "ගොළු හදවතේ" මෙන් තරුණිය වෙන විවාහයක් කර ගැනීම නිසා නොවේ. මේ ගොළු වූ ප්‍රේමයේ තරුණයා අරක්කු වලින් ප්‍රේම ගින්න නිවාලන නිසාද නොවේ.

දශක ගණනාවක් තිස්සේ ජාතිවාදී යුද්ධයකින්ද තරුණ නැගිටීම් දෙකක් අතුරින් ද  දරුණු ලෙස පෑරුණු ශ්‍රී ලංකාව නම් දේශයේ ප්‍රේමයක් හට ගන්නට කිසිදා ඉඩක් නොතිබෙන තරුණ හදවත් දෙකක් අතර හටගත් සමාජීය සම්බන්ධතා තුල අසම්මත වූ ප්‍රේමයක් ගැන කියවෙන නිසාවෙනි.

මින් වසර ගණනකට පෙර එනම් සත්වන  මිහිඳු රජුගේ උත්තරීතර යුධ ජයග්‍රහණයෙන් හෙවත් මානුෂික මෙහෙයුමෙන් දෙවසරකට පමණ පසු අතුරුදහන් වූවන් ගැන තොරතුරක් ඉල්ලා කෙරෙන නිහඬ විරෝධයක් පුවත්පතක දුටිමි. මගේ ඇස  ගැටුනේ අතුරුදහන් වුනු තම පියා ඉල්ලමින් පුවරුවක් අතින් ගත්  කුඩා දැරියක සහ ඇගේ මවයි.

එදවස මගේ ඇඟේ දැවටෙමින් අන්දරේ ගේ කතා අහන, මගේ දෑත අල්ලා ගෙන රාත්‍රී නින්දට පිවිසෙන  කුඩා දියණියන් දෙදෙනෙකු ගේ  පියෙකු වූ මට ඒ පින්තූරයේ සිටි කුඩා දියණිය කෙරෙහි ඉමහත් ශෝකයක් ඇති විය. මදක් දුර සොයා බැලූ කල, ඈ රාත්‍රියේ නින්දට යද්දී, කතාවක් කියා දෙන්නට, උදයේ මුහුණ සිඹ පාසලට ගෙන යන්නට සිටින ආදරණිය පියා අතුරුදහන්ව ඇති බව සොයා ගතිමි. ඔහු අතුරුදහන්ව ඇත්තේද අතුරුදහන් වූවන් සොයන වුන්ට උදව් කිරීමට ගොසිනි.

ඔහුගේ දේශපාලනය මා  අනුයන දේශපාලනය නොවිය හැකිය. එසේ වුවද  ඔහු ත්‍රස්තවාදියකු නොව මානව හිමිකම් ක්‍රියාකාරිකයකු බව දැන  ගතිමි. මානව අයිතිවාසිකම් අඩු තැනක මානව හිමිකම් ක්‍රියාකරුවෙකු යන වචනයම කුණු හරපයක් වී ඇති හා දේශ ද්‍රෝහී ලේබලයක් ඇලවී  ඇති රටක, වෙනත් රටවල මානව හිමිකම් උස්මුරුත්තාවට බුදිමින්ම  තමන් උපන් රටේ මානව හිමිකම් රැකෙන්නට  නොදී  පිටරට වල වෙසෙමින් බුකියේ දඟලන, රටේ ගහලයන් රකින ආත්මාර්ථකාමී මිනිසුන් නිපදවූ  රටක, ඔහුගේ ඉරණම මට සිතා ගත හැකි විය. ඉතින් එදා සිට  ඒ දරුවා ට පාසල් පොතක් ගන්නට ඇඳුමක් ගන්නට මසකට කුඩා ආධාරයක් කරන්නට සැලසුමක් යොදා  සැනසුනෙමි.

ආදිත්‍ය ගේ මව ඇත්තටම ජිවත් වන අයෙකු නම්  ඇය  දැන් ජිවත් වන්නේ කොහොමද? ඇයට කන්න හදින්න දෙන්නේ කවුරුද?  ඇගේ එකම පුතා වෙනුවෙන් පෙනී සිටින්නේ කවුරුන්ද? අතුරුදහන් වන ඕනෑම සහෘදයකු වෙනුවෙන් හඬන වැලපෙන නෑ සියන් කී දෙනෙකු ඇත්ද? රටක් මෙතරම් දරුණු වන්නේ කෙසේද?

තරංගනී රෙසිකා ප්‍රනාන්දු ගේ "දේශ ද්‍රෝහියාගේ නිර්මල හෘදය " කියවීමෙන් අනතුරුව මගේ හිතේ නැගුනු සිතිවිලි සමුදායෙන් කොටසකි ඒ.
සැල්වදෝර් චිත්‍රපටියේ ජවනිකාවක් 

කලින් කියවා  දැන සිටියද මුක්ති දේව ධර්මය පිළිබඳව  අදහසක් මම හොඳින්ම  උකහා ගත්තේ ඔලිවර් ස්ටෝන් ගේ "සැල්වදෝර් " චිත්‍රපටය  නවසිය අසූහයේදී පමණ නැරැඹු පසුය. වියට්නාමයේ ඇමරිකා එක්සත් ජනපද හමුදාව බිඳ වැටීම (මකරාගේ මල) නමැති පොත ලියූ රිචඩ් බොයිල් ගැන කියැවෙන මේ චිත්‍රපටියේ සැල්වදෝර් ජුන්ටාවේ බිහිසුණු කම මොනවට කියා පායි. චිත්‍රපටය පටන් ගන්නේම  දක්ෂිනාංශික ඝාතක කණ්ඩායමක් විසින් ඇමරිකානු ජාතික කතෝලික කන්‍යා සොයුරියන්  කිහිප දෙනෙකු දුෂණය කොට මරා දමන දර්ශනයකිනි. ඇමෙරිකානු ජනාධිපතිවරයාටද හොරෙන් සි අයි ඒ සංවිධානය මගින් ආයුධ හා මුදල් ආධාර සපයමින් රඳවා තබා ගත් මිලිටරි  ජුන්ටාවේ දරුණු  පාලනයට එරෙහිව කතෝලික  පල්ලිය ජනතාව  උදෙසා නැගී සිටියේය.
විමුක්ති දේව ධාර්මික රෝමිරෝ ගැන චිත්‍රපටයක්  
යේසුස් වහන්සේ යනු ආයතනික යුදෙව් ආගම හා ඉන් පැනවූ බදු වලින් පෙළුණු ජනතාව ඉන් මුදා ලන්නට  කැපවුණු "දුගීන් " ගේ රජෙකු ලෙස මෙන්ම ඔවුන් ගේ විමුක්ති දායකයා  ලෙස හඳුනා ගත් විමුක්ති දේව ධාර්මික හතර වැනි ආච්  බිෂොප්  ඔස්කාර් රෝමිරෝ   ගේ සාහසික  ඝාතනය ද මෙම චිත්‍රපටයේ  සඳහන්  වෙයි.

ලංකාවේ විමුක්ති දේව ධර්මයේ ඉතිහාසය ළගන්නා  අයුරින් විස්තර කරමින්ම,  තරංගනී රෙසිකා තම කතාව, කථා නායිකාව වන කන්‍යා සොයුරිය සෙව්වන්දි ගේ සිතේ තම මානවවාදී පෙම්වතා කෙරෙහි හටගත් අසීමිත අසම්මත ප්‍රේමය  බයිබලයේ සොලමන්ගේ ප්‍රේම ගීත ඇසුරින් අපට පහදන්නිය.  බයිබලය කියවා තිබුනද එහි පෙම් ගී තිබු බවක් මට මතක නැත.

"පෙම්වතී
ඔබේ සිඹීම් වලින් මා  නෑවි ඇත..
ඔබේ ප්‍රේමය මිදී යුෂට වඩා සුමිහිරි ය
ඔබේ සුවඳ විලවුන් සුමිහිරිය
ඔබ නම් වෑහෙන සුවඳ විලවුන් වැනිය
එබැවින් මුවැත්තියෝ ඔබට පෙම් වඩති"

කන්‍යා සොයුරියන්ට ලෞකික ප්‍රේමය ඇකැප යයි සිතමි. ඔවුන් බයිබලයේ පෙම් ගී කියවා දැවෙන සිත්  සනසා  ගන්නේ කෙසේද තරංගනී? සිස්ටර් සෙව්වන්දි ලෝගුව අතැර ගියේ ඒ නිසාද? නැතිනම් අතුරුදහන්  වූ ආදරණිය පෙම්වතා  උදෙසාද?

තරංගනී රෙසිකා  පොඩිසිඤ්ඤෝ මරං පුෂ්පයට  කැමති බව මා දැන  ගත්තේ බ්ලොගයේ පළවූ ඇගේ නිසඳසකිනි.  සිස්ටර් සේව්වන්දිද  ඒ මලටම  කැමති බවත් ඇය ඒ ගැන කවි ලියා  ඇති බවත් ආදිත්‍ය ඒ කවි කියවා ආස්වාදයට පත්වුණු බවත් දැන ගතිමි.

"පොඩිසිඤ්ඤෝ නැසුවාද  හැබෑටම
මේ හැටිම සුදු සිනා සලා ගෙන
කරුමයෙන් උරුමයට ආ නමක
වග වාසගම් රිදුම් නොගෙනේද...."

පොත ස්මාරකය සමග 

 වික්ටර්  හාරා ගැන , නෙරූදා ගැන අය්යන්දේ ගැන සෙව්වන්දි උගත්තේ  ආදිත්‍ය ගේ ගිටාරය තුලිනි. විප්ලවය උපදින්නේ ප්‍රේමය වෙතින් බව චේ කියා ඇතැයි ඔහු ඇයට කියා දෙයි. මේ නම් ලංකාවේ අප දන්නා  හඳුනන විප්ලවවාදීන් විය නොහැකිය. ඔවුන්ගේ මානව ප්‍රේමය සීමා වී  ඇත්තේ ස්ටාලින් ගේ කාලයේ මෙන් පක්ෂයට පමණය.  ඇත්තටම බොහෝ දුරට තනි තනිව බැලුවොත් ලංකාවේ වාමාංශික පක්ෂ වල සගයන් හැමෝම වගේ හොඳ මිනිසුන්ය. අනුන් ගේ දුකේදී තෙත් වන හදවත් ඇත්තෝ වෙති.

එහෙත් පක්ෂ දේශපාලනයට ගිය වහාම මේවායේ නරුමයන් වන්නේද ඔවුහුමය. මේ ලඟදි යහළුවෙකු විසින් එවූ පොතක තිබුනේ, එම පොත පුදන්නේ රටේ ඒකීය භාවය හා ධජය වෙනුවෙන් ජිවිත කැප කළ  සගයන්ට කියායි.  එම පොතේ බොහෝ විට සඳහන් වන්නේ 88-89 කාලයේ මරා දැමුණු හා අතුරුදහන් කෙරුණු තරුණ තරුණයින් ගැනය.
රටේ සමාජවාදය පිහිටුවනවා යයි කියූ නායකයෙකු හා ඔහුගේ අනුගාමිකයන් අන්තිමට සිරවුයේ වෙනත් දේශපාලන සන්දර්භයක් තුලය.

ඔවුන් පසු කලෙක ද්‍රවිඩ ජාතිකයකුද ඇතුළත්වූ මධ්‍යම කාරක සභාවක් මගින් යුද්ධයක් මෙහෙයවීමට දේශපාලන සහාය දුන්නේ රටේ කොටසක් ඉල්ලා එවැනිම යුද්ධයක් දියත් කල තවත් තරුණ කොට්ඨාශයකට  එරෙහිවය. මේ දෙගොල්ලම විප්ලවවාදී  හදවතින් යුක්ත වීම හා චේ මෙන් ප්‍රේමය අනුදැනීම  කෙසේ වෙතත් තමන් විමුක්තිය ලබා දෙන්නට සිටින මිනිසුන්ද මරා දැමූහ. ඔවුන්ගේ ප්‍රහාර වලින් කුපිතවූ රාජ්‍ය යාන්ත්‍රණයේ දැඩි මර්දනය ඔවුන්ට එල්ල වූයේ "පලුටාව " හා මුල්ලෙවෛක්කාල් හරහාය. ආදිත්‍ය ලාට නොතේරුනේ  එයයි. ආදිත්‍යලා ගේ බොළඳ කම හෙවත් අධ්‍යාපනය වෙනුවට හදවත තෝරා ගැනීම නිසා  ආදිත්‍ය ගේ ඉරණම විසඳුනේ සෙව්වන්දිට ජීවිත  කාලයටම පශ්චාත්තාප වන්නට කාරණයක් ඉතිරි කරමිනි.

"වසා  දැමුනේ මාවිල් ආරුව පමණක් නොවේ. පුරන්ව ගියේ ත්‍රිකුණාමලයෙන් ඔබ්බට පැවති කෙත් යායවල් පමණක් නොවේ. සමස්ත ලාංකේය හෘදය සාක්ෂිය ද දොරගුළු ලා වසා දැමිණි. මනුෂ්‍යත්වය  පුරන් වුනි."  (පි 63.) මේ ඡේදය  ප්‍රශ්නයක පැත්තක් පමණක් ගැන සිතා කරන ලද ළඳ බොළඳ දේශපාලන ප්‍රකාශයක් පමණි.

හේතුව එකම රටේ දෙපැත්තක හෘදය සාක්ෂිය ගොළුව ගියේ අර මා  කලින් කිවූ අහවල් පොතේ ලියන සමහර  අසත්‍ය වාර්තාවන් ටද අදාලවය. කිසියම් ශිෂ්‍ය සංවිධානයක් රටේ ඒකීය භාවයට විරුද්ධව දේශපාලනය කරන ගමන් අනිත් ප්‍රබල සංවිධනයට පහර දීම නිසා උන්ගේ නායකයා මරා දැමුණු වග එහි සටහන් වේ. ඒ කාලයේදීම  එයට සමගාමිව උතුරේ දේශපාලන කණ්ඩායමක්  තමන්ගේ සගයන් සමූලඝාතනය කළහ. ඒ යුගය සනිටුහන් කලේ  මිනිසුන්ගේ තමන්ගේ හෘදය සාක්ෂියන් දොරගුළු  ලා ගැනීම මගිනි. විප්ලවවාදියා තවත් විප්ලවවාදියෙකු ගේ බොටුව හිර කරන විට ඔහුගේ නිර්මල හෘදය ගොළුව පුරන්ව යන්නට ඇත.

ආදිත්‍ය ගේ කාලය එළඹෙන්නේ මේ දුර්ග සමයට පසුව එළඹෙන  ඊළඟ යුධ සමය සමගය. එයින් පසුද දුර්භික්ෂය එළඹේ. යක්ෂයාගේ හෝරාව අවසන්ව නැත. තරංගනී රෙශිකා  ගේ පොත වැදගත් වන්නේ මෙන්න මේ කාලය ගැන ඇගේ කියවීම තුලය. ඈ තුල නිරායාසයෙන්ම මතුව එන සාහිත කුසලතාවය, සිස්ටර් සෙව්වන්දි හා ආදිත්‍ය  අතර ඇතිවන ප්‍රේමණිය සම්බන්ධය, විමුක්ති දේව ධර්මයේ හා බෞද්ධ විමුක්තිවාදී විඥානය තුල සැඟවෙන අයුරු ප්‍රසංශනිය ලෙස ගලපා  දෙයි.  ඔවුන් ගේ වෙන්වීමේ දුක් වේදනා, සම්මත දේශපාලනයේ අසම්මත ඉවුරේ සිට ගැනීමෙන් ලෝකාන්තයේ ප්‍රපාතයට වැටී නොපෙනී යන්නවුන් ගේ  ඉරණම සමග සබැඳ ඇති  බව ඇය අපට පහදන්නීය.

"පැලලි කුටිය තුල වූ හුදෙකලා ජීවිතය නෙත්  දෑලේ බැඳ වහංගු කරලන්නට මෙන් මම කුටිය සිසාරා බැල්මක් හෙළුයෙමි. ඒ අතර ආදිත්‍ය කිසිවක් නොකියා ම, මවෙත බැල්මක් හෝ නො දීම නිහඬවම කුටියෙන් නික්මී ගියේය." (පි 132)

සිස්ටර් සෙව්වන්දි ගේ සරල දිවි පෙවෙත බොහෝ විට ආදිත්‍ය නොදැන සිටි බව නොකියා කියන කතුවරිය, ආදිත්‍ය සෙව්වන්දි වටහා ගත්තේ එහිදී බව ප්‍රකශ කරන්නේ අපටද  ඒ බවක් හරියටම නොදැනෙන ලෙසය.  විමුක්තිය සැබවින්ම සොයන්නේ ඔහුද ඇයද යන්න ආදිත්‍ය ට  ම  ප්‍රශ්නයක් වන්නට ඇත?

    ආදරය ඉස්මතුවන්නේ හදිසියේය. එහි ආශ්චර්යමත් මොහොත එන්නේද හදිසියේය.

"මා ආදිත්‍ය වෙත නැමීගෙන ආ  කෙටි අහර ඔහු වෙත පෑවා පමණි. ඔහු මා  සුරත දැඩි කොට අල්ලා තමා වෙතට ඇද ගත්තේය. තේ කෝප්පය ඉහිර ගියේ ලෝගුවට පිටින් ඇඳ උන් ඒප්‍රනය මතය. ඔහු මතද උණු තේ ඉසුණා නිසැකය. අනපේක්ෂිත ඇදීමෙන් සිරුරේ සමබරතාවය ගිළිහ ගිය මා වැටී රැඳුනේ ඔහු මතය. ඒ දෑත මා වටා එතුනේ එසැණය. මට නැගී සිටින්නට අමතක වුනි. අමතක නොවුණා ද නොවේ. මට නැගී සිටින්නට ඇවැසි නොවීය. කල්ප කාලයක් හදවතින් හුරුව සිටි උනුහුමකි ඒ, දාඩිය පුසුඹකි  ඒ, සෙනෙහසකි ඒ "(පි 144)
 
සෙව්වන්දි හා ආදිත්‍ය ගේ ප්ලැටොනික ආලයේ සුරතාන්තය එළඹෙනුයේ  එළෙසය. තරංගනී රෙසිකා ඉතා සංයමයෙන් යුතුව තම වියමන හසුරුවන්නී  මිනිසෙකුගේ ඉරණම ඔහුට හෝ ඇයට  දැනෙන බව අපට පවසන්නේ මෙලෙසය. අවසන් හමුවීමේ දී  ඔහු තම ගිටාරය ඇයට දෙයි.
"මේ, මගේ පණ, මං මගේ පණ ඔයා ළඟ තියල යනවා., ටික කාලෙකට පරිස්සම් කර ගන්න. මං ගිහින් එන්නම්"

තරංගනී ඉතා සියුම්ව අපට පවසන්නේ මේ ආදිත්‍ය සෙව්වන්දි අත තබා යන්නේ ගිටාරය නොව ඔහුගේ පණම බවයි.  ඔහු නැවත නොඑන බව ඔහුම දනී.

"තාත්තා නැති වෙද්දී පුතාට අවුරුදු  දොළහයි සිස්ට. අනේ බරක් පතළක් තේරෙන වයසක නෙමේ උන්නේ. ඒත් එදා ඉඳන් තාත්ත කෙනෙක් වගේ පවුල ගැන හිතුව. අනේ මට හයියකට උන්නේ එච්චරයි සිස්ට." (ආදිත්‍ය ගේ මව) සිය ගණන් අතුරුදන් වූවන්  ගේ,  මවුන්ගේ හා බිරිඳන් ගේ   විලාපය මෙහි ගැබ්ව තිබේ. ඉහත  පොතේ පින්තූරය,   චන්ද්‍රගුප්ත  තේනුවරයන්   ගේ අතුරුදහන් වූවන්  සඳහා වූ ස්මාරකය ඔවුන් සඳහාය.

විමුක්තිය සොයා සිස්ට සෙව්වන්දි නැවතත් මුතු ඇල්ල ගමට යන්නීය.

"ගොළු හදවතින්"  පසු එබඳුම ගොළු එහෙත් දහස් ගුණයකින් විචිත්‍ර වූ ආදරයක් හා දේශපාලනයක් සම්බන්ධ  කර අඳුරු යුගයක් විවරණය කරන්නට තරංගනී රෙසිකා සමත් වන්නීය.

ප.ලි.
මේ පොතේ විමුක්ති  දේව ධර්මය පිලිබඳ තව දුරටත් ලියන්නට සිතුවෙමි. මට පසුව මතක් වූ පරිදි ලතින් ඇමෙරිකාවේ පනස් ගණන් වලදී,  කතෝලික පල්ලියේ පියවරුන් සහ කන්‍යා සොයුරියන් ඉමහත් සමාජ ප්‍රශ්න හා දුක්ඛිත ජිවිත  වල ගැලී සිටි තමන්ගේ පල්ලි වලට  රොක් වන ජනතාව උදෙසා දියත් කරන ලද සමාජ මෙහෙවර කිසියම් විධිහයකින්  මාක්ස්වාදී චින්තනය සමග බැඳී පැවතුනි. එදවස ඇමෙරිකානු විදේශ  ප්‍රතිපත්තිය  ලතින් ඇමෙරිකානු අරගල වලට  එරෙහිව හා ඒ රටවල මිලිටරි ජුන්ටාවන්ට පක්ෂව පැවති  නිසා කතෝලික පල්ලියේ විමුක්තිවාදී කොටස් ගත්තේ ද බහුතර ජනතාවගේ පැත්තය.

ලංකාවේ මේ පිළිබඳව මුලින්ම  ලිව්වේ දයාන් ජයතිලක මහතාගේ පියාවන  මර්වින් ද   සිල්වා මහතාගේ ගාඩියන් සඟරාවේ  බව මට මතකය. දයාන් ජයතිලක මහතාද මේ ගැන ලියා හෝ දේශනය කර  ඇති බව මට මතක මුත්  ඔහුගේ ලිපි සොයා ගැනීමට නොහැකිය.

බෞද්ධ විමුක්ති මාර්ගය මාක්ස්වාදී දේශපාලනයට සවි කරන ලද්දේ කොමියුනිස්ට් පක්ෂයේ  උඩ කැන්දවල සිරි සරණංකර හිමියන් විසිනි. උන්වහන්සේ  ඉතා සාර්ථකව   එය කළමුත් රෝහණ විජේවීර මහතාගේ ජවිපෙ මේ සම්බන්ධය තරමක් දුරට විනාශ කලේ ඉන්දියානු ව්‍යාප්ත වාදය  සමග අනියම් ලෙස බද්ධ කරමිනි.

 මේ අනුව ජවිපෙ හෝ  වෙනත් රැඩිකල් තරුණයන් ගේ බෞද්ධ ජන විඥානය හැඩ ද ගැසුනේ උතුරේ විමුක්ති දේව ධර්මයට විරුද්ධවය. ඒ සියල්ල  අන්‍යාගමික විදේශික බලවේග ලෙස සරල වුනි. එසේම උතුරේද විමුක්තිවාදී බෞද්ධ   දර්ශනය වෙනුවට  දකුණේ දේශපාලනය සූක්ෂමව  යොදාගත්  සිංහල බෞද්ධ හෙජමනියට විරුද්ධව  අරගලයක් ක්‍රියාත්මක විය. ප්‍රධාන ප්‍රශ්නය ගිලිහී  විප්ලවවාදීන් එකිනෙකා  මරා ගත්තේ එබැවිනි.

අවසානයේදී සෑම අවස්ථාවකදීම අවසාන විමුක්තිය උදා  කර දුන්නේ හමුදා සොල්දාදු සහෝදරයාය.

ස්ලෝවොයි ජිජක් විමුක්ති දේව ධර්මයේ අතීත  භූමිකාව ප්‍රතික්ෂේප කරන්නෙකි.  ජිජක් බ්‍රිතාන්‍යයේ  ක්‍රිස්තියානි දෙවධර්මාචාර්ය ජෝන් මිලිබෑන්ක්  සමග ලියු "ක්‍රිස්තුන් ගේ  භීෂණය " (the monstrosity of christ) පොතේ, තමන්ගේ අදේවවාදය තුල මිලිබෑන්ක් ගේ සම්ප්‍රදායික  ආගම ප්‍රතික්ෂේප කරන ජිජක් අවසානයේ පල්ලියෙන් තොර වූ ක්‍රිස්තියානු විමුක්තිය පිලි ගනී. ගොස්පෙල් ගීත හරහා ක්‍රිස්තියානු විමුක්ති දේව ධර්මය ඔහු  ප්‍රතික්ෂේප නොකරයි.

විජේවීර අමතක කළ උඩකැන්දවල හිමියන් ගේ  විමුක්ති බුද්ධ ධර්මය භාවිතා කිරීමට කාලය එළඹ  ඇත්ද?

ජීජක් බිලිවර් සඟරාවේ  ඩයනා  දිල්වර්ත් සමග කල සාකච්චාවේ  කොටසක් මෙහි දැක්වේ.
.මූලාශ්‍රය 
//Of course when I advocate Christian legacy, I make it very clear that this legacy today is not alive in the Catholic or any Christian Church. Here I am kind of a vulgar Stalinist; churches should either be destroyed or turned into cultural homes or museums for religious horrors [laughs]. No no no, it’s not that, but nonetheless, a certain logic of radical emancipation exploded there. And all original emancipatory movements stopped there. This should be admitted. So the point is not to return to the Church, to rehabilitate Christianity, but to keep this certain revolutionary logic alive. I mean this is the good news that the Gospel means: you can do it, take the risk.//

Thursday, 7 December 2017

රෝහින්ගියා ප්‍රශ්නයේ තවත් පැත්තක්

රෝහින්ගියා අනාථයින් 
බුරුමයේ අවුන් සාන් සුකී සෙනෙට් පදවියට පත්වී බුරුම හමුදා වල අසීමිත දේශපාලන බලය යම් ලෙසකින් අවම කරන ලදී. එහෙත් රෝහින්ගියා මුස්ලිම් වැසියන්ට බුරුම හමුදා විසින් හදිසි මෙහෙයුමක් දියත් කොට නැවත තාඩන පීඩන කිරීමට පටන් ගනුයේ ගිය මසදීය. එයට අවුන් සාන් සුකීද නිහඬව සිටිමින් අනුමතය  දී ඇති බවට,  මුලින්  ඇගේ බුරුමයේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම උදෙසා කල සටනට සහය දුන් ඇතැම් බටහිර මාධ්‍ය විසින් චෝදනා කරන  ලදී. ඇතැම්  බටහිර මානව හිමිකම් ආයතන සහ අයර්ලන්තය වැනි රටවල් ඇයට පුද කල නම්බු නාමයන් පවා අවලංගු කිරීමට පෙළඹුණි.

නමුත් ඇත්ත වශයෙන්ම සිදුවූයේ කුමක්ද? කාටත් අද අමතකවී ඇති යේමන් යුද්ධය හෙවත් සවුදි අරාබිය විසින් යේමනයට එරෙහිව කරන බෝම්බ දැමීම් මතකයට නගා ගන්න.  ඉරානය සහය දෙන  හුති කැරලිකරුවන්ට එරෙහිව යයි කියමින් මේ බෝම්බ දැමීම හා අසාධාරණ යුද්ධයක් නිර්මාණය කිරීම ගැන නිව්ස්වීක් සඟරාවේ ලිපියකි  මේ.  මෙය පළවුයේ පසුගිය සැප්තම්බරයේය. මේ පසුගිය අප්‍රේල් මාසයේ ලන්ඩන් හි ගාඩියන් පුවත්පතේ  පළවුණු ලිපියකි. සවුදි බෝම්බ යේමනය සුන්නත්දූලි කරන බවට මෙහි චෝදනා කර තිබේ.

ළමුන් ඉතා විශාල ප්‍රමාණයක් මිය ගොස් ඇති අතර බොහෝ අය සාගින්නේ මිය යති. මේ ගාඩියන් ලිපිය පලවන්නේ ජුලි මාසයේය.
බ්‍රිතාන්‍යයේ ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පත  දිගින් දිගටම යේමනයට  එරෙහිව සවුදින් කරන යුධ අපරාධ ගැන හඬ නැගු පුවත් පතකි.

මේ අතර තවත් සිද්ධීන් දාමයක් සිරියාවේ දිග හැරෙමින් තිබුණි. මම රුසියාවේ පූටින්ට සහය දක්වන්නෙක් නොවෙමි. එහත් පූටින්ගේ සහයෙන් සිරියානු ජනාධිපති අසාඩ් ගේ හමුදා අයිසිස් වරුන්ට එරෙහි යුද්ධය සාර්ථක ලෙස නිම කරමින් තිබේ. මේ මස ඇතුලත බොහෝ අයිසිස් ත්‍රස්තවාදීන් අල්ලාගෙන සිටි නගර මුදා ගැනීමට සිරියානු හමුදා සමත් විය. මා  කලකට ඉහත සිරියාව  ගැන ලිපි පෙළක් ලියුවෙමි. ඒ සිරියන් යුද්ධයේ තවත් පැත්තක් යනුවෙනි.

එහිදී එවකට සිටි  ඇමෙරිකානු උප ජනාධිපති ජෝ බයිඩන් සවුදි සහය ඇතිව අයිසිස් සංවිධානය සිරියාවේ අසාද් ට එරෙහිව  නිර්මාණය කල බව පැවසීමි. මෙය හරියටම අසූ ගණන්වල  ඔසාමා  බින් ලාඩන් ට  ඇෆ්ඝනිස්ථානයේ සෝවියට් හමුදා වලට විරුද්ධව  සටන් කරන්නට ආයුධ සහ පිරිස් සැපයීමට සමානය. ඔසාම පසුව අල කයිඩාව මගින් බටහිරට එරෙහිව යුද්ධ ප්‍රකාශ කලේ දහස් ගණන් ඇෆ්ගන් වැසියන් ඝාතනය  කරමිනි. එහෙත් ඇතැම් සමාව යදින්නන් බබ්‍රක් කර්මාල් කාලයේ ඝාතන  දස දහස් ගණන් වී යයි පච නිර්මාණය කරමින් ඉතිහාසය අලුතින් ලියන්නට තැත්  කරති.

මේ ජෝ බයිඩන් ගේ අයිසිස් ම පසුව බටහිර රටවල ත්‍රස්ත  ක්‍රියා කරන්නට පටන් ගති. ඔවුහු අති දරුණු ලෙස ඉරාකයේ යෙසිඩි  ජනතව මන්ම  සිරියානු ජනතාවද  ඝාතනය කළහ. ගැහැනුන් හා ළමුන් දුෂණය කළහ. වහලුන් ලෙස විකුණුහ. සමලිංගිකයන් උස ගොඩනැගිලි වලින් තල්ලු කරමින්ද පණ පිටින් පුලුස්සමින්ද මරා දැමුහ.

අවසානයේදී  ඇමෙරික එක්සත් ජනපදයද බ්‍රිතාන්‍යයද අයිසිස්  වරුන්ට එදිරිව සටන් කරන්නට ඉරාකය සහ කුර්දි වරුන්ට සහය දුන්හ.  එහෙත් මේ සටනේ වඩාත්ම ජයග්‍රාහී වූයේ පුටින් ගේ රුසියානු හමුදා උපදේශක වරුන් හා සිරියානු හමුදාවය. සවුදියේ හා තුර්කියේ මැදිහත්වීම සිරියානුන් තව දුරටත් ඉවසුවේ නැත.

ඇමෙරිකානු උපාය සිරියාවේදී පරාජය කිරීමට පුටින්ට සහ අසාද්ට හැකිවුණි. එසේම ඔක්තෝබර්  අග වනවිට සවුදි අරාබියට එරෙහිව ප්‍ප්‍රබල  විවේචන බටහිර ජන මාධ්‍ය විසින් පළ කරන්නට පටන් ගති. බටහිර වැසියන් ගේ සවුදි විරෝධතාවය සෑහෙන ප්‍රමාණයකට ඉහල ගියේය. තෙරේසා මේගේ රජයට හෝ ඇමෙරිකාවේ ට්‍රම්ප් ටද මේ විරෝධය සමනය කරීමට කිසිවක් කළ නොහැකි විය. සවුදියට බ්‍රිතාන්‍ය ආයුධ විකිණීම ගැන බරපතල චෝදනා එල්ල විය.

දැන් රෝහින්ගියා කැරලිකරුවන් ගැන කතාකරමු.  රෝහින්ගියා  කැරලිකරුවන් පිරිසක් සවුදි වහාබ් ආගම අදහති. ඔවුන්ට සවුදියේ සහය හිමිවන බවට බොහෝ චෝදනා එල්ල විය. මේ එවන් එක ලිපියකි. මෙය පළවුයේ 2016 දීය.

හදිසියේම සවුදියේ ඔටුන්න හිමි කුමාර රුසියාවේ ආයුධ මිලදී ගැනීමේ සංචරයකය්ට ගියේය.  (ආයුධ මිලදී ගන්නා  නිසා මෙන්ම තෙල් නිසාද බ්‍රිතන්‍ය හා ඇමෙරිකානු පාලකයන් සවුදිය පැත්තේය) මෙය  සිදුවුනේ ඔක්තෝබර් පස් වැනිදාය. රුසියාව සමග ආයුධ මිලදී ගැනීමට ගිවිසුමක් අත්සන් කර සවුදිය තමන්ට එරෙහි රුසියාවේ විරුද්ධතාවය සමනය කර ගත්හ.
යේමනයේ සවුදි බෝම්බ වලින් මිය යන දරුවන් 

හදිසියේම තිරශ්චින ලෙස ක්‍රියා කරන බුරුම හමුදා රෝහින්ගියා කැරලිකරුවන්ට එරෙහිව සටනක් පටන් ගත්තේය. පසුගිය  අගෝස්තු 27 වනදා රෝහින්ගියා  කැරලිකරුවන් කල ප්‍රහාරයට පිළිතුරු ලෙසිනි. කොහොමත් දරුණු බුරුම හමුදා අහිංසක වැසියන් බොහොමයක් මරා දැමු අතර බුරුම හමුදාවට  එරෙහිව ස්ත්‍රී දුෂණ චෝදනා හා යුධ අපරාධ චෝදනා  එල්ල විනි. බොහොමයක් රෝහින්ගියා මුස්ලිම් වැසියන් යුධ අනාථයන් ලෙසට බංග්ලාදේශයට පලා ගියහ.

බීබීසී ප්‍රමුඛ බටහිර මාධ්‍ය මොන බෝම්බය ගැසුවත් ඉස්ලාමික ත්‍රස්තවාදීන් යන වචනය භාවිත කරන්නේ නැත. බ්‍රිතාන්‍ය  අගමැති තෙරේසා  මේ පවා එලෙස හැඳින්වීම ගුණ ගරුක ඉස්ලාමික  වැසියන්ට නිගරුවකි යයි  කීවාය. නමුත් ටයිම්ස් සහ අනිකුත් මාධ්‍ය හදිසියේම බෞද්ධ  ත්‍රස්තයන් ගැන කතා කරන්නට පටන් ගති.  සියලුම මාධ්‍ය වල රෝහින්ගියාව ප්‍රධාන මාතෘකාව  බවට පත්වුණි.

ඇමෙරිකාවේ හා සවුදියේ සැලසුම් සිරියාවේ අන්ත පරාජයකට ලක්වීමේ ප්‍රධාන පුවතක් හිමින්ම වැළලී ගියේය. එසේම යේමනයට දරුණු ලෙස බෝම්බ දමමින් සිටි  සවුදියට එරෙහිව එල්ලවෙමින් තිබු බටහිර ජනතාවගේ  විරෝධයද ක්‍රමානුකුල ලෙස  හැරුනේ රෝහින්ගියා වටය.

යේමෙනයේ සිටින්නේ, මිය යන්නේ මුස්ලිම් වැසියන් නොවේද? සිරියාවේ මිය යන්නේ මුස්ලිම් වැසියන් නොවේද? නමුත් රෝහින්ගියා  මුස්ලිම් වැසියන් ගේ දුක හදිසියේම වඩා දරුණු වූයේ  කෙලෙසද? එය එසේ නොවේ යයි මම නොකියමි.   අවුන් සාන් සුකී නිහඬව සිටින්නේ ඇයි? බුරුමයට ගිය පාප් වහන්සේ මුලින් නිහඬව සිටියේ ඇයි ? ආර්ජන්ටියා වෙන් පැමිණි  උන්වහන්සේ නිතර අසාධාරණයට අයුක්තියට එරෙහිව කතා කල කෙනකි.  ඔහු විසින් රෝහින්ගිය අනාථයන් ගැන වචනයක් දෙකක් හෝ  පැවසුවේ බංගලාදේශයේ දීය.
ඒ සිදුවූයේ කුමක්ද යන්න පාප් වහන්සේ මෙන්ම අවුන් සාන් සුකී ද දන්නා නිසාය.

බංග්ලාදේශයේ මුස්ලිම් වරුන් සවුදියේ මෙන් සුන්නිය. සිරියාවේ හෝ යේමනයේ මෙන් ෂියා මුස්ලිම් වරුන් නොවේ. රෝහින්ගියා මුස්ලිම් බහුතරයක්ද සුන්නිය. කොටින්ම  සවුදිය කලේ බුරුම හමුදාවලට කැරලිකරුවන් ලවා  පහර දීමය. බුරුම හමුදාවේ  නොපනත්කම හා මුග්ධ භාවය දන්නා සවුදිය තමන්ගේ ආගමම  අදහන රෝහින්ගියා මුස්ලිම් වැසියන් බිල්ලට දුන්නේය. සමහර විට මත්ද්‍රව්‍ය විකිණීමෙන් පවා ආදායම් සොයන බුරුම ජනරාල් වරුන් සවුදි මුදලට යටවන්නට ද බොහෝ සෙයින් ඉඩකඩ ඇත.

කෙසේ හෝ වේවා යේමන් ප්‍රශ්නය සහ සිරියාවේ පරාජය මද කලකට වසා  ගැනීමට හැකිවීම සවුදියේ ජයග්‍රහණයකි. බටහිර ජනටහ්වගේ විරෝධය  අඩු වූ සැනින් සවුදියේ ඔටුන්න  හිමි කුමාරයා  තමන්ගේ බලය තහවුරු කර ගත්තේය. ඔටුන්නු හිමි මොහමඩ් බින් සල්මන් කුමරු විරුද්ධ වාදීන් අත් අඩංගුවට ගන්නට නියම කලේ නොවැම්බර් හය වනදාය. යේමන මිසයිල කතාවක් කරලියට ගෙන තවත් විරුද්ධ වාදී කුමරකු ගේ හෙලිකොප්ටරය වැටී ඔහු මිය ගියේද මේ කාලයේය.

ලංකාවේ සිංහල බෞද්ධ අන්තවාදීන් හා බුරුම අන්තවාදීන් අතර වෙනසක් නැත. ඔවුන් කටයුතු කරන න්‍යාය පත්‍රය ලියවෙන්නේ වෙනත් තැන්වලය. රෝහින්ගියා අනාථයන්ට රැකවරණ දෙනවාට  බහුතරයක් සිංහල හෝ දෙමල ජනතාව  විරුද්ධ නැත. මේවා අවුළුවන්නේ දේශපාලන හේතූන් මත මිස වෙන මොනවා ට වත් නොවේ. විල්පත්තු කාරයා හැම ආණ්ඩුවකම සිටින්නේද මේ අනුවය.

කෙටියෙන්ම සිදුවූයේ එයයි. හෙට හෝ අනිද්දා වෙනවිට බුරුම ප්‍රශ්නය හදිසියේ තවත් කාලයකට නිවී යනු ඇත. බුරුමයේ සුකී ද නැවතත් බටහිර මාධ්‍ය වල ඩාලින් වනු ඇත .

බටහිර මාධ්‍ය නැවතත් යේමන් ප්‍රශ්නය අදින්නට පටන් ගෙනය. යේමනය නැවත  කරලියට එනු මේ ලිපියෙන්  පෙනේ.

වාමාංශිකයන්   හා ලිබරලුන්ව  අන්දන්නේ  එලෙසය. පොඩි තල්ලුවකින් ඔවුන් රෙද්ද උස්සාගෙන දඟලනු බලා  සිනා වෙන්නේ අනිකෙක්ය.

අලුත්ම ගිනි පුපුර යේරුසලම ඊශ්‍රායලයේ අගනුවර බවට පිලි ගනිමින්  ඩොනල්ඩ් ට්‍රම්ප් අවුළුවා ඇත . තවත් යුද්ධයක් දෙකක් පටන් ගතහොත් තවත් ආයුධ සමුහයක් විකිනීමට හැකිය. ආර්ථිකය ගොඩ නංවා ගන්නේ වෙන බයිලා වලින් නොව යුද්ධ මගිනි.

යේමනයේ සවුදි බෝම්බ පින්තුරය 

CHILDREN AT WAR: SAUDI ARABIA IS BOMBING YEMEN BUT BLAMES HUMANITARIAN DISASTER ON IRAN-BACKED HOUTHIS

Saudi bombs are decimating Yemen. Yet May’s glad-handing goes on

Myanmar's Rohingya insurgency has links to Saudi, Pakistan - report

Putin Welcomes Saudi Arabia Into His Middle East Sphere of Influence

Myanmar's Rohingya rebels - What you need to know

At least 71 killed in Myanmar as Rohingya insurgents stage major attack

Friday, 1 December 2017

දෙවොල් ගී තුලින් අතීතයට එබිකම් කරමු

පුරාණ ශ්‍රී ලංකාවේ සංගීත භාණ්ඩ සහ ඇඳුම් (මාර්ටින් වික්‍රමසිංහ කෞතුකාගාරය)
බලන්ගොඩ රත්නපුර   ප්‍රදේශයේ උග්ගල් නුවර දේවාලයක් ගැන හා එහි නැටුම් සම්ප්‍රදායන්, පෙරහැර, ජන කවි මෙන්ම දේවාලයට ආශ්‍රිත ජන කතා ඉදිරිපත්  කරන බ්ලොග් අඩවියක් තිබේ, මේ බ්ලොග් අඩවිය ගැන මා මිට පෙරද සදහන් කර ඇත. එය ලියන එම් පී  ගුණසිංහ මහතා විශ්‍රාම  ලත් උප විදුහල්පතිවරයෙකු සේම බලන්ගොඩ අධ්‍යාපන  කලාපයේ ඉතිහාසය සහ සමාජ අධ්‍යයනය පිලිබඳ ජේෂ්ඨ උපදේශක වරයෙකි.

ඔහු ලීයූ අවසන් බ්ලොග් ලිපි පෙලේ පුරාණ ජන කවි කිහිපයක් සඳහන්  වෙයි. මේ ඉන් එකකි.
බුද්ධ හස්තය අමෘත හස්තය බ්‍රහ්ම හස්තය………………නංතමා
හස්ති හස්තය ලලිත හස්තය මයුර හස්තය……………….නංතමා
මත්ස්‍ය හස්තය ආදි සත් විඳ හස්ත නැටුමේ……………..මනරමා
වීර විකුමැති නරනිඳුන් පෙර පුරුදු කළ දිග්ගෙයි……….නැටීමා

මේ කවි සමග නර්තනයක් ද වේ. එය බ්ලොග් අඩවියෙන් නැරඹිය හැකිය. මේ එවැනිම තවත් කාන්තා ලාලිත්‍යය වනන  කවියකි. මෙය ඔහු උපුටා ගෙන ඇත්තේ  බාලචන්ද්‍ර බ්‍රාහ්මණයන්ගේ කන්දකුමාර සිරිතේ පුරාණ පුස්කොල පොතිනි.

පීරා සුනිල් වරල බැඳ මල්පටින් තරව පයෝදර රණ හංස……………තිසරූ
තෝරා සිහින් කවනි ඇඳ රැලි ශට්ට පෙරව ලෙලවා දෑත් වලලු……..රුසිරූ
වාරා නොවම සලෙළු මුලට කච්චිත් ඇඳන තෙයි තෙයි කියන පද….කිඳුරූ
දීරාය සැනි නෙතත පවතීය පන්දහස් මෙ උග්ගල් නුවර යස………….ඉසුරූ

ලන්ඩනයේ ගී මන්දාව  උළෙලට පැමිණි සංගීතඥ දර්ශන රුවන් දිසානායක පැවසුවේ ශ්‍රී ලංකාවේ පෘතුගීසි ආක්‍රමණයට කලින් පැවති  සංගීතය පිලිබඳ අපේ දැනුම ඉතා මඳ බවත් ඒ පිළිබඳව කවුරුන් හෝ පර්යේෂණාත්මක අධ්‍යයනයක් කර කෘතියක්  පල කල යුතු බවත්ය. පෘතුගීසි ආගමනයෙන් ලංකාවට දායාද  වුනු බයිලා සංගීතයත්, පසුව දකුණු ඉන්දීය සංගීතයේ අභාශයත්, ඉන්දීය රාගධාරී සංගීතයේ ආභාශයත් ලැබුණු බව සත්‍යමුත් එයට පෙර පැවති  සංගීත ක්‍රමයන් ගැන කොහේවත් සඳහන් වන්නේ නැත. ඔහුගේ අදහස නම් ඈත අතීතයේ සිට පැවත ආ  රාජ්‍ය වංශයන් නිසා රජ මාලිගාවල නැටුම ගැයුම් වැයුම් කෙරෙන්නට බොහෝ සේ ඉඩ  ඇති බවයි. එ මෙන්ම  පන්සල් දේවාල සහ ඒවායේ පෙරහැර ආදියේද  නැටුම් ගැයුම්  පැවති නිසා දේශීයම වූ  සංගීත භාණ්ඩ සමග මුසුවී ප්‍රබල දේශීය සංගීතයක්  බිහිවී  තිබෙන්නට ඇති බවයි.
උග්ගල් අලුත් නුවර කතරගම් දේවාලය 

ඉහත සඳහන්  බ්ලොග් අඩවියේ රටේ එක ප්‍රාදේශීය පෙදෙසක (උග්ගල් නුවර)  දේවාලයක් හා එය සෑදු සහ එයට වන්දනාවේ පැමිණි  ප්‍රාදේශීය රජවරුන් ගැන කියවේ. එක් රජ කෙනෙකු නම් යාපා රජුය. මේ යාපා රජු (ටිකිරි බණ්ඩාර )සීතාවක රාජසිංහ රජු බවද ගුණසිංහ මහතා ඔහු සපයා ගත් සාධක අනුව පවසයි.

මේ දේවාල  වල නැටුම් තිබුනා නම්  ගැයුම් සහ වයුමද එතනට අනිවාර්යයෙන්ම ඇතුළත් වේ.  මේවා ගැන සඳහන්  ඓතිහාසික  පුරාවෘත්තයන් සහ පුස්කොලපොත්ද සංරක්ෂණය කර හැදෑරිය යුතු වන්නේ එහෙයිනි.

මෙහිදී මට මතක් වන්නේ  රත්න ශ්‍රී විජේසිංහ මහතා විසින් පබැඳි ගිතයක්ය.ඉන්දියාවේ මෙන් ශ්‍රී ලංකාවේ දේවදාසි ක්‍රමයක්  තිබුනේ නැත. ඉන්දියාවේ දේව දාසියන් යනු මුලදී හොඳින් සැලකුවද පසුව දේවාල  අයිතිකරුවන්ගේ, කපුවන්ගේ තාඩන  පීඩන, ලිංගික හිංසා  වලට නතුව  ජිවත් වන්නට සිදුවන පිරිසකි. අදත් මේ දේවදාසියන්ට සලකන අයුරු ගැන නොයෙකුත් විරෝධතා පැවැත්වේ. (පින්තුරය බලන්න)
දේවදාසින් ගේ විරෝධතාවයක් 

ශ්‍රී ලංකාවේ  බෞද්ධ සම්ප්‍රදායන්ට අනුව දේව  දාසියන් සිටීමට හේතුවක් නැත. එහෙත් රත්න ශ්‍රී විජේසිංහ මහතාගේ මතය ට අනුව දේවදාසියන්  සිටි එක් දේවාලයක් තිබී ඇත. ඒ ගැටබරුව දේවාලයයි. මෙය ගැටබරුව රජ මහා විහාරයට සම්බන්ධ යයිද නොදනිමි. ගැටබරුව දේවාලයේ පින්තුරයක් මට බ්ලොග්  අඩවියකින් ලැබුණි.
ගැටබරුව දේවාලය - පින්තුරය කඩුල්ල බ්ලොග් අඩවියෙන් 

ගැටබරුව දේවාලයේ දේවදාසියක් (හෝ දේවදාසින්) සිටි බවට ජනකතා තිබෙන්නට ඇත. ඉන් එක දේවදාසියක එවකට ප්‍රාදේශීය පාලකයෙකු වූ රජ්ජුරු බණ්ඩාර කෙරෙහි පෙමින් බැඳී සිටි බවත් එම ප්‍රාදේශීය පාලකයා ඇයව හොර රහසේ මුණ ගැසුණු බවත් කියවේ. එම ප්‍රාදේශීය පාලකයා පසුව රජ්ජුරු බණ්ඩාර දෙවියන්  ලෙසින් මොරවක ප්‍රදේශයේ වැසියන් දේවත්වයෙන්  සළකා වැඳුම් පිදුම් කරති.

රත්න ශ්‍රී ලියු මේ ගීතය ගයන්නේ  දීපිකා ප්‍රියදර්ශනී පීරිස් විසිනි. සංගීතය රෝහණ  වීරසිංහයන් ගෙනි.

රජ්ජුරු බණ්ඩාර දෙයියනේ
තරහ අවසර රන් කඳේ
ආල හිතක් හැදී ඔත්පල වුනු අහිංසකි  මං

රණේ කිරුල පිටේ තුන්ගව්  උස ඔටුන්න දා  ගෙන
පයේ නාද සළඹ ලිහිණි හඬින්  මන්තර මතුරන
අපේ පැල  වටේට ඇවිදිනවා රෑ මං   අහගෙන

ඇළ මංකඩ ඉස දිය නාගෙන  මන් පින් දෙනකොට
රුක්  අත්තන ලන්දේ ඉඳගෙන දිවස් ලබා දෙන
හිමි ආල හිතක කැලතීමක් දෙයියෝ අවසර

මේ ගීතය සොයද්දී  තවත් එවැනිම  ගීතයක්ද මට සොයා ගත හැකිවිය. ඒ චමාර වීරසිංහ ගයන මේ ගීතයයි.



තමන් කරා හොර රහසේ එන ප්‍රාදේශීය රජුට පෙම් බැඳී දේව දාසියක් ඇත්තටම ගීයක් ගයන්නට නැතිද? ශ්‍රී ලංකාවේ විදේශීය ආක්‍රමණයන්ට කලින් ප්‍රබල සංගීත සම්ප්‍රදායක් තිබුනේද?

මූලාශ්‍ර:
ගුණසිංහ මහතාගේ බ්ලොග් අඩවිය - දෙයියන්නේ රටේ 
දේවදාසි පින්තූරය ගත්තේ මෙතැනිනි.

සංගීත භාණ්ඩ පින්තූරය : A unique Museum of Sri Lankan Folk Culture

දේවාලයේ පින්තූරය - කඩුල්ල බ්ලොග් අඩවිය 

Saturday, 18 November 2017

කැත ගැහැණියගේ අගෝරා සෙල්ෆිය

අන්තර් ජාලයෙනි  
සරද සමරසිංහ ගේ "කැත ගැහැනියගේ හීනය " පොත ගැන කතිකාවක් තිබුන ලන්ඩනයේ. අගෝරා කලා කවය මගින් සංවිධානය කරපු. සරද ගේ කෙටි කතා පොත  සෑහෙන්න විවේචනය කරලා ලිපියක් දැම්මත් සරද මට ආරාධනා කලා, සභාව මෙහෙයවන්න. ඉතින් මම පටන් ගත්ත සාමාන්‍යයෙන් ප්‍රබල චිත්‍රපට හා සාහිත්‍ය කලා විචාරකයෙකු ලෙස මම සලකන දීප්ති කුමාර ගුණරත්න  ගෙන්ම.

"අසෝක හඳගම සහ සත්‍යජිත් මාඉටිපේ අතර දාර්ශනික වෙනස " කියන ලිපියේ දීප්ති මෙහම කියනවා.
// කලාව පිළිබඳ ඉදිරිපත් කරන දාර්ශනික සහ දේශපාලනික විවේචනවල මුඛ්‍ය  ගැටලුව වන්නේ  කෘතියේ නොවන ප්‍රශ්න ඊට එබ්බවීමයි. උදාහරණයක් ලෙස වින්සන්ට් වෑන්ගෝ නම්  ප්‍රවීන චිත්‍ර ශිල්පියාගේ   “ගොවි සපත්තු” නම්  චිත්‍රය හෛඩගර් නම් දාර්ශනිකයා ඒ තුළ නැති ගැටලුවක් බවට ‘එය’ පත් කළේය. එනම් මෙම සපත්තු අයිති කාටද යන ප්‍රශ්නය යි. කෝදාගොඩ  යනු යථාර්ථයට වශී වූ විචාරකයෙකි. ඔහු  කියන්නේ හොඳ නිර්මාණකරුවන් යනු යථාර්ථය නිරූපණය හෝ ප්‍රතිනියෝජනය කරන අය බවයි. අප කියන්නේ  යථාර්ථය නියම අයුරින් නියෝජනය කරන කලාකරුවන් යනු ඔවුන්ගේ සැබෑවෙන් යතාර්ථය වෙතට පලා යන්නන් බවය. අප යථාර්තය හදුනා ගන්නේ සුචරිත ගම්ලත් හෝ පියසීලී විජේගුණසිංහට වෙනස්ව ෆැන්ටසියක් ලෙසිනි. එනිසා ෆැන්ටසිය ප්‍රබන්ධයකි. කෝදාගොඩට  මෙම විසඳුම ගැලපෙන්නේ නැත. ඔහු යථාර්ථය සලකන්නේ සමස්තයක් (අඩුවක් නැති) ලෙසය. අපට අනුව  සමාජ යථාර්ථය වැළඳගැනීමම  පලා යාමකි.//

මට හිතුන ඇත්තටම මම ඉදිරිපත්  කරපු අදහස් වලට මම "කෘතියේ නොවන ප්‍රශ්නයක් එබ්බෙව්වද " කියල. සරද හිතන්නේ  එහෙමයි කියල මට තේරුනේ.  ඉතින් මම හෛඩගර් ගෙන් පටන් ගත්ත. මාර්ටින්  හෛඩගර් (1889-1976) ජර්මන් දාර්ශනිකයෙක්.  එයාගේ දර්ශනවාදී නැම්ම  සම්බන්ධ කරලා තියෙන්නේ ෆෙනමෙනලොජි phenomenology  (ප්‍රපන්චවේදය?)  සහ existentialism (සංදෘෂ්ටිකවාදය?) වලට .  phenomenology කියල කියන්නේ විකියේ තියන විධිහට අත්දැකීම් වල සාරය හඳුනා ගැනීම සහ විඥානය පිලිබඳ ඉගෙනීම . existentialism  වලට භවසත්තාවාදය කියලත් කියනවා. නැතිනම් "නිදහස් සහ වගකීම් සහිත තනි මිනිසෙකු තමන්ට අභිමත ලෙස ක්‍රියා කිරීමෙන් ඔහුගේ සංවර්ධනය තීරණයකිරීමෙන් ඔහුගේම පැවැත්ම තහවුරු කිරීම (පරිවර්තනයකි)"  කියල  ලියන්නත්  පුළුවන්.

හෛඩගර් හිට්ලර් ගේ නාසි වාදයට අනියමින් උදව් කළ නිසා දරුණු විවේචනයකට බඳුන් වූ අයෙක්.

ඉතින් මේ හෛඩගර් ලියනව  "කලා  කෘතියක මූලාශ්‍රය" (the origin of the Work of Art) කියල ලිපියක්.  මෙන්න මෙහෙම දෙයක් ඒ ලිපියේ කියනවා. ඔහු පෙනී සිටින්නේ වර්තමාන (ඔහුගේ කාලයේ) සම්ප්‍රදායක දර්ශනවාදී සෞන්දර්යයේ  නොවේය නමුත් සත්‍යම වූ සත්‍යයම පිළිඹිබු කරන  කලා කෘති සඳහාය කියල. (Heidegger is against the modern tradition of philosophical "aesthetics" because he is for the true "work of art"). ඔහු කියනවා නියම කලා කෘතිය සෞන්දර්යය නිසා අඳුරු වෙනවා (eclipsed) කියල. හැබැයි හෛඩගර් ම ඒ එක්කම කියනවා මේක මහා ඔක්සිමොරොන් (oxymoronic) එකක් කියල. ඒ කියන්නේ නිකන් "කොළඹ ගමයා " වගේ. ගමයෝ කොහෙද කොළඹ? එහෙම නැත්නම් "හතරැස් වෘත්තයක්" "කන් බිහිරි කරවන නිශ්ශබ්දතාවය" වගේ කියල.  "ජිවත් වුනත් මැරිලා වගේ " ඉන්න මිනිස්සු. මැරිලා නම් ජිවත් වෙනවා කියන්න බැහැනේ. සුන්දරත්වයක් නැති කලා කෘති පවතින්න පුලුවන්ද?

මොකද  කලාවේ  නියම ඓතිහාසික වටිනාකම හදුනාගන්නට බටහිර මිනිසාට හැකිවුණේ එය  සෞන්දර්යවාදී වීම නිසාම යයි කියල ඔහු නැවත නැවතත් අවධාරණය කරනවා ඒ එක්කම. හතරබීරි කතාවක්නේ. මම දැන් මුලින් ලියූ ලිපියේ රත්න ශ්‍රී හීන් විමසුමක් කරන "උඩරට කඳුකර සිරියා පරදන" ගීතයට නැවත ගියොත්.  මතක තබා ගන්න අපි මෙය ගන්නේ උදාහරණයකට. ඉතා රසවත් ලෙස තම දෙමාපියන්ගේ ගී ගයන චිත්‍රාල්  සෝමපාල මහතාට හෝ ගීය මුලින් ගැයූ ගායක  ගායිකාවන්ට විවේචනයක් නෙමෙයි මේ ඉදිරිපත් කරන්නේ.

ඒ ගීතයේ මෙහෙමත් තිබෙනවා.  රටේ ජාතික ධනයයි ඔවුන් උපයන්නේ. අපි ණය ගැතියි ඔබට.
"රට පණ ගන්වන ජාතිය සුරකින ජාතික ධනය අපේ
අපි ණය ගැති වෙමු සුකොමල දෑතට  තේ දළු නෙලන ලඳේ "

එසේම "තේ වල යහපත ලොවටම සලසන කම්කරු ළඳකි ගමේ" කියලත් ලියනව. ඒ කියන්නේ කම්කරු ළඳක් තමයි තේ නෙලන්නේ කියන එකත් ගේය පද රචකයා විසින් පිළි ගන්නවා.  ඔහු ඇය ඉහල තැනක තබා ලියනවා මිසක අපහාසයක් කරන්නේ නැහැ. අපට ආදරයක් ඇතිවන අයුරින්  ලියන්නේ. සංගීතය සුමධුර කර්ණ රසායන හෙවත් "නැගල යන " එකක්.

හෛඩගර්  කියන දේ - සෞන්දර්යයද,  ඇත්ත ඉදිරිපත් කිරීමද ද  වැදගත් කියන  එක ඔළුවට වදින්නේ මෙතන.  මේ සින්දුවේ අයිසින් දාඋ කේක් එකක් වගේ  ලස්සනට වහල තියෙන්නේ   උඩරට තේ දළු නෙලන කම්කරු ජනතාවගේ දුක්ඛිත තත්වය. සින්දුව අහන කොට හිතෙන්නේ මරුටියකින් වැඩට ඇවිත් තේ දළු ටික නෙලලා හවසට ගෙදර යන මොඩල් එකක් ගැන. ඔය යු ටියුබ් එකේ දාල තියෙන සින්දුවේ වදන් ලස්සන ඉන්දියානු කාන්තාවක  ගේ පින්තුරයක් එක්ක නේ තියෙන්නේ. හිතේ මැවෙන්නේ ඒකනේ. තේ දළු නෙලන ගැහැණිය කැතයි කියල නෙමේ මේ කියන්නේ. වරදවා වටහා ගන්න  එපා. දුක්ඛිත ජිවන තත්වය ගැනයි මම අදහස් කරන්නේ.

මම ලුණුගල හිටි කාලේ (හැත්තෑ ගණන් වල) දැකල තියනවා රා හෝ කසිප්පු බීපු සැමියා ගෙන් ගුටි කාල  පොලිසියට එන දුප්පත් කම්කරු ගැහැණු.  ඔවුන් පොලිසිය ඇතුලට එන්නත් බය දෙවන පන්තියේ පුර වැසියෝ. ඔවුන් ගේ  ලයිම් ඉස්සරහ මයියොක්ක වගා කරලා තියනවා.  ඒ මයියොක්ක රෑට තම්බල කන්න. දවල්ට බත් තිබ්බොත් මයියොක්ක දළු මැල්ලුම එක්ක බත් කන්නේ, එක පාරක් ළමයෙකුට වමනේ ගිහින් පොලිසියේ ජීප් එකෙන් ලුණුගල රෝහලට ගෙනිච්ච. ඒ අම්මට වැරදිලා වෙන දළු වගයකුත් මිශ්‍ර වෙලා. ඕකයි තත්වය. දැන් ඔවුන් තරමක් දුරට හොඳින් ජිවත් වෙනවා.

ඉතින් ස්ටාලින් ගේ කාලේදී තමා සමාජ සත්තා  යථාර්ථවාදය socialist realism එක ආවේ. මේ ගැන මම කලින් ලියල තිබෙනවා.  හැට ගණන් දක්වා ඒ ට්‍රෙන්ඩ් එක තිබුන. ප්‍රවීන නාට්‍ය රචක විජිත ගුණරත්න මට මතක් කල කාරණයක් තමයි ඒ දිනවල කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ ගුණසේන විතාන ඇතළු පිරිසක් තමන්ගේ ලේඛක සංවිධානයක් අටවාගෙන අනිත් අයව පහත දමා උඩට ඒමට ඉඩ නොදී සෝවියට් දේශයට කඩේ ගිය හැටි.  සෝවියට් දේශයේත් සමාජ සත්තා  යථාර්ථවාදය  කියන ලේබලය යටතේ පක්ෂවාදී බොරු මනස්ගාත පල කරපු හැටි. නමුත් හොඳ නිර්මාණ බොහොමයක් එලියට ආවෙත් ඔය කාලෙමයි අයිත්මාතව් ගේ වගේ. ඉතින් කෙලින්ම වරදක් කියන්න බැහැ. නමුත් අපි ස්වාධින නිර්මාණයට  ඉඩ දිය යුතුයි. එය එළි  දැක්වූවාට පසු විචාරයක් ඉදිරිපත් කිරීමේ අයිතිය අප සතුයි.

ඉතින් මම ඒ ලිපියේ බ්‍රෙස්ටියානු  එපික් ශෛලියක් ගැන ලිව්වේ ඔය පසුතලය මත. දීප්ති සැබෑවෙන් යථාර්තය  වෙත පලා  යන්නවුන් හැටියට හඳුන්වන්නේ යථාර්තය  තමන්ගේ ෆැන්ටසියක් කර ගත් කලාකරුවන් ගැන වෙන්න ඕනේ.  සරද ගේ පොත ගැන මම ලිව්වේ ඒක . "කැත   ගැහැණිය "හැර අනිත් සියලු කෙටි කතා යථාර්තය පිලිබඳ ඔහුගේ පරිකල්පනයේ උසස් බව පල කරන බව කියන්න.

ඔය අතරේ මම හෛඩගර් ගැන කියන්න දර්ශනවාදයේ වචන කිහිපයක් භාවිතා කිරීම එතනට පැමිණ  සිටි ප්‍රවීණ  කිවියර අනුර හෑගොඩ මහතාගේ පියාපත් මදක් සෙලවූ බව වැටහුනා.  ඔහු අදහසක් පල කරමින් කියා සිටියේ අමාරු වචන යොදා පොරත්වය පෙන්වන්නේ නැතිව සරල ලෙස යමක් කියමු යන්නයි. ඔහු ඒ සඳහා ලංකාවේ ඩේලි නිව්ස් පුවත්පතට  ඔහු ලියු කොලමක් ගැන කතා පැවසුවා. ඒවා  බොහෝ සරල භාෂාවෙන් ලියා  ඇතිබවත් එසේම ලන්ඩනයේ  මෙට්‍රෝ වැනි පුවත් වල ඇති නාට්‍ය විචාර පහැදිලි පොදුජනයා ට තේරෙන භාෂාවෙන් ලියා ඇති බව.

එතනට පැමිණ සිටි තරුණ චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙකු වන නුවන් ජේ ත් එය අනුමත කර. විචාර දෙඤඤම් බැටේ ඒවා නොව කලා කරුවා දිරි ගැන්විය යුතු ඒවා බව. මා  ඒ කතාවට විරුද්ධ නැහැ.

මෙන්න  තියනවා මෙට්‍රෝ පත්තරේ විචාර කියව බලන්න.   එහිත් සරෙලිස්ට් (surrealist) වැනි වචනත් භාවිතා වෙනවා. කවුරු හරි කියයි ඒවත් අමාරු වචන කියල.

මේවා ලියන්නේ  මිනිසුන්ට නාට්‍ය තෝරා ගන්න උදව්ව්වකට. ඒවාට එම විචාරකයන්ට ගෙවීමක් කරනවා. මේ පත්තරේ ටැබ්ලොයිඩ් එකක් ගොසිප් ලංකා වගේ ගාඩියන් වගේ  සීරියස් බ්‍රෝඩ් ශීට් පුවත් පතක් නොවේ. ගාඩියන් පුත්පතේ එඩ්රියන් සර්ල් ගේ විචාරයක් කියවා  බලන්න. මේ තව එකක්. තවත් කෙනෙක් විචාර ලියන්නේ නාට්‍ය විකුණා ගන්නම නෙමෙයි.

රවී වීරසිංහ කියන මම කැමැත්තෙන් කියවෙන බ්ලොග් කරුත් තැනක (ෆේස්බුක්) එකේ හිනාවෙලා තිබුන මෙහෙම  දීප්ති වගේ අය භාවිතා කරන අමාරු සිංහල වචන   ගැන. සුමිත් චාමින්ද හෙම නිතර භාවිතා කරන "භව සත්තා  නිමේෂය" ගැන මමත් වරක් ලියා තිබුන.  රවී වීරසිංහගේ බ්ලොග්  එකේ ඔහු ලියන ශෛලිය  සුන්දරයි.  ඔහුට නොවැටහෙන කරණය තමා ඔහු භාෂාව ඉදිරිපත් කරන විලාසයේ ඇති ගැම්ම. ඒක හැමෝටම බැහැ  කරන්න. දිප්තිලා වගේ අයත් නව වචන හඳුන්වා දෙමින් කරන්නේ භාෂා පෝෂණයක්. දන්නේ නැතිනම් කරුණ කරලා ඉගෙන ගන්න වචන ටික. මේ බ්ලොගයෙම වෙන තැනක මම එහෙම වචන ලියාගෙන ඉන්නවා.  ඒක තමයි වැදගත්. ඒක තමයි ඉගෙනීම කියන්නේ.

දැන් මම   ටිකක් හිතල තමයි අර ක්වන්ටම් අංශු ගැන ලීවේ. ෆේස්බුක් එකේ මල්ලි කෙනෙක් ඒ මොකක්ද කියල අහපු එකකට පිළිතුරු. පොරත්වය පෙන්වන්න නෙමේ ඕව ලියන්නේ. දැනුම බෙදා හරින්න. එතන පෞලි  ගේ නියමයට කියන්නේ පෞලී බහිෂ්කාරක නියමය කියල කවුද කිව්වා. ඉතින් ඒ වචනය අපට ඉගෙන ගන්න වෙනවා.  

කලා කරුවන් දිරි ගැන්වීමට තම අපි මේවා ලියන්නේ කියන එක කවුරුත් වටහා ගෙන නැහැ. එසේම නුවන් ජේ කිව්වා අපි ඉංග්‍රීසියෙන් ලිවිම පටන් ගත යුතුයි කියල. සිංහල සිනමාව ජාත්‍යන්තරයට ගියාට සිංහල ගීතය ගිහින් නැත කියල. සිංහල ගීතය  එතනට ගෙනියන්න දර්ශන රුවන් දිසානායක වගේ ප්‍රතිහස්ත තරුණ සංගීතඥයන්ට පුළුවන් කියල මම කිව්වා.
 නුවන් ජේ කියනවා  ඉංග්‍රීසියෙන් යමක් කරනවා නම් හොඳයි. අපි යා යුත්තේ ජාත්‍යන්තරයට කියල ඔහු එතැන තිබු රුසියානු පරිවර්තන සහ සිංහල පොත් සංසන්දනය කලා. සිංහල ඒවා ජාත්‍යන්තරයට ගිහින් නැහැ. ඒක ඇත්ත තමයි. මමත් හිතා  ගත්තේ මගේ ඉංග්‍රීසි බ්ලොගය දියුණු කරන්න ඕනේ කියල. අරුන්දතී රෝයි උනත් ඉංග්‍රීසියෙන් නේ ලිව්වේ. එනිසා ඔහුගේ අදහස නිවැරදියි එක පැත්තකින් ගත්තොත්.

නමුත් ඔතන  තව ප්‍රශ්නයක් තිබෙනවා. ඒ තමයි අපිට අපේ මව් භාෂාවෙන් තමා  අපේ හැඟීම් හා සිතුවිලි  හරියටම ඉදිරිපත් කරන්න  පුළුවන්. ඕන   කෙනෙකුට එහෙමයි. සිංහල කියන්නේ මගේ මව් භාෂාව. මගේ දරුවන්ගේ මව් භාෂාව ඉංග්‍රීසි නිසා ඔවුන් තම අදහස් වඩා ව්‍යක්ත ලෙස  ඉදිරිපත් කරන්නේ ඉංග්‍රීසියෙන්.   අනික ඔය ලෝක ප්‍රකට සෝවියට් සහ රුසියානු සාහිත්‍ය ග්‍රන්ථ  මුලින් ඉදිරිපත් වුනේ රුසියානු භාෂාවෙන්  මිසක් ඉංග්‍රීසියෙන් නෙමෙයි. සිංහලය ඉතා පැරණි, ප්‍රබල ලස  අදහස් ඉදිරිපත් කළ හැකි භාෂාවක් බව අප අමතක කළ යුතු නැහැ.

අවසාන වශයෙන් ඇනෙස්ලි මාලේවන ගයන "උඩරට නිළිය හැඩ වගේ" කියන ගීතය අහමු. නිළියක ගේ රතැඟිලි ගැන කීම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නේද? අර කලින් ගීතය වගේ නෙමේ. හැබැයි උඩරට නිළිය  සිංහල ජාතියට ගරු සරු ලබා දෙන්නේ කොහොමද කියන එක පැහැදිලි නැහැ. පහත රට නිළියෝ  ලබා දෙන්නේ නැත්ද? උඩරට නැටුම් කලාව නම් සිංහල ජාතියට ලොකු ගරු සරුවක් ලෝකයේම ලබා දෙනවා.  ඉතාමත් සුන්දර නාට්‍ය සම්ප්‍රදායක්.

හෛඩගර් කියනවා , "අද කලාව පේස්ට්‍රි (මාළු පාන් )  හදන (චෙෆ්) අරක්කැමියෙකු ගේ  තත්වයට වැටිලා.  කලාවේ රසාස්වාදය සුන්දරත්වය හොයන උන්ගේ සහ විචාරක මාස්ටර් ලාගේ සොමියට ඉතිරි වෙලා කියල. අපේ සංස්කෘතිය බැරිස්ටා කෙනෙක්  කැපචිනෝ එකට කිරි වක්කරන එකත් ආර්ට් එකක් හැටියට උසස් කරගෙන. නමුත්  කලාවේ පරමාර්ථය විය යුත්තේ ඉතා ගැඹුරු තැනින්ම  ඉතිහාසය වෙනස් කිරීමට හැකියාවක් දීම කියන එක අපට අමතක වෙලා කියල".  මතක තියා ගමු.


යොමු:
මෙට්‍රෝ නාට්‍ය විවරණ 
ගාඩියන් නාට්‍ය විවරණ 
මාර්ටින් හෛඩගර් 
සරද  ගේ සෙල්ෆිය 

Tuesday, 7 November 2017

ඔක්තෝබර් විප්ලවයට අවුරුදු සීයයි

කෙරෙන්ස්කි රජයේ ඇමතිවරුන් අත් අඩංගුවට ගත් කාමරය 
මම හිතන්නේ මේක මගේ 297 වැනි ලිපිය. අදට ඔක්තෝබර් විප්ලවයට අවුරුදු සීයක්. මට හදිසියේම මතක් වුනේ මගේ වයසත් අවුරුදු  පනස් දෙකක් කියල. ඒ කියන්නේ ඇත්තටම බැලුවොත් මේ වගේ ලෝක ඉතිහාසය දැඩි ලෙස වෙනස් කරපු සිදුවීමක් වෙලා තියෙන්නේ මම ඉපදෙන්න අවුරුදු  48 කට කලින්. කලින් නොහිතුනු දෙයක්.  පෘථිවියේ ඉතිහාසය, මානව ඉතිහාසය ඉඳල බැලුවත් අවුරුදු 48 ක් කියන්නේ පොඩි කාලයක්. සීයක් කියන්නේ මිනිහෙකුගේ ජිවිත කාලයක්.  ඉතා පින්තුරයේ තියෙන්නේ අපි රුසියාවට 2016 ගිය වෙලේ ගත්  පින්තුරයක්. ශාන්ත පිතර්බුර්ගයේ "ශීත මාලිගාවේ  - winter palace " ප්‍රසිද්ධ කාමරයක්. එය තමා නොවැම්බර් හත් වනදා කෙරෙන්ස්කි රජයේ ඇමතිවරුන් රැස්ව සිටියදී රතු භටයන් විසින් අත් අඩංගුවට ගත් කාමරය.

පුංචි කාලේ ඉඳන් රුසියන් ළමා කතා කියවලා, පස්සේ ටෝල්ස්ටෝයි ගේ පටන් තුර්ගේනිව්, පුෂ්කින්, ඔස්ත්‍රොව්ස්කි , බොන්දර්යේව් ගේ නවකතා දක්වා කියවපු කාලයක්, ලිබරේෂන් වගේ  චිත්‍රපට අවුරුදු  දහඅට වෙනකොට බලල තිබ්බ කාලයක්.
අපේ අම්ම ලෙනින්ට හරි ආදරෙයි. මම ගෙනාපු "අම්මා " පොතත් ඇය කියවල තියෙනවා.  අම්ම අදත් කියන්නේ ලෙනින් උත්තමයා නිසා ඔයා  සෝවියට් දේශයට ගියා.  ඊට පස්සේ රට රටවලට ගියා. දේවල් ඉගෙන ගත්ත. කොච්චර හොඳ මනුස්සයෙක්ද එයා ..? (හැබයි අම්ම ජිවිතේට කොමියුනිස්ට් පක්ෂයට චන්දෙ දීල නැහැ. බැතිමත් ශ්‍රීලනිප).
මතකද? ජෝන් රීඩ් ගේ " ලොව හෙල්ලූ දස දවස " කියෙව්වහම පුදුම ගැම්මක් නේ එන්නේ.

මම හුඟක් ලිපි ලියල තියනවා සෝවියට් දේශය විවේචනය කරලා. නිලධාරිවාදය, ස්ටාලින් ගේ දරුණු කම. ලෙනින් නිසා සෝවියට් ගිහින් උන්ගේ රූබල් 90න්  ජිවත් වෙලා දැන් බනිනවා කියල ආපු විවේචන හුඟක් තියනවා.  මම ඒවා ගණන් ගන්නේ නැත්තේ අම්ම වගේම වෙන දෙයක් ගැන   දන්නේ නැති වුනත් ඒ හුඟක් අය "සෝවියට් දේශය " සහ එය බිහි කරපු ක්‍රමයට අහිංසක ලෙස දක්වන කැමැත්ත නිසා  බව දන්නා නිසා.

දෙවෙනි වතාවට කියවන්න ගත්තේ  සොල්ශේනිට්සින් ගේ "පිළිකා වාට්ටුව ",   සයිබීරියාවේ සිර කඳවුරු ගැන වූ ගුලාග් අර්කිපෙලාගෝ වගේ පොත පත. ස්ටාලින්ගේ දුව ලියපු පොත වගේම අයින් රෑන්ඩ් ගේ පොත් ටික කියවන්න , පැස්ටර්නැක්  සහ (උක්රයිනයේ) "44 වෙනි ළමයා" වැනි චිත්‍රපට බලන්න ගත්තේ ඊටත් පස්සේ. ඒ චිත්‍රපටියේ කොමියුනිස්ට් ක්‍රමය තුල අපරාධ නැහැ කියල අපරාධ සඟවන හැටි පෙන්වනවා.  ටිකින් ටික,  ලෙනින්  "නව ආර්ථික පිළිවෙත " කියල 1921 දී  පෞද්ගලික වෙළඳාම ට සහ පෞද්ගලික ගොවිපල  වලට ඉඩ දුන්නේ ඇයි වගේ දේ, ගොර්බචෝව් ගේ කාලේ අපට රුසියාවේදී උගන් වන්න පටන් ගත්තේ ඇයි කියලත් තේරෙන්න ගත්ත. ග්ලාස්ට්නාස්ට් (විනිවිද දැකීම)  සහ පෙරෙස්ත්‍රොයිකා  (නැවත ගොඩ නැගීම) හරහා ගොර්බචෝව්  රට නැවත  ගොඩ නංවන්න හැදුව. ලෙනින් දිගටම යුධ ආණ්ඩුවක් තියන් ඉන්න හිතුවේ නැති බවත් මිනිස් නිදහස දෙන්න  සුදානම් වෙලා හිටි බවත් ඔවුන් අපට උගන්වන්න පටන් ගත්ත. හැබැයි සෝවියට් කොමියුනිස්ට් පක්ෂයේ ස්ටලින්වාදී තදයන් මේකට කැමති වුනේ නැහැ.

මට මතක යෙල්ට්සින් කියන මොස්කව් වල හිටපු පක්ෂ ලේකම් ගැන. යෙල්ට්සින් ස්වෙර්ද්ලොව්ස්ක් ප්‍රදේශයේ ගොඩනැගිලි ඉදිකිරිම් පිලිබඳ ප්‍රධානියා. ගොර්බචෝව් ගේ අගසව් ලිගචෝව් යෙල්ට්සින්ව ගේනවා මොස්කව් වලට 1985 විතර. ගෙනත් ඉදිකිරීම් කටයුතු පිලිබඳ අංශය භාර දෙනවා. අපි එතකොට මොස්කව් වල ඉගෙන ගනිමින් සිටින්නේ. යෙල්ට්සින් ගැන රුස්සෝ කතා වෙනවා මට මතකයි.

යෙල්ට්සින් දුෂිත නිලධාරීන් අස්  කළා. ඉදි කිරීම් ක්ෂේත්‍රයේ දූෂණ නැවැත්වුවා. බටහිර දේශපාලකයෝ වගේ එයාගේ රියදුරු සහිත වාහනය  එපා කියල ට්‍රොලි බස් එකේ වැඩට ගියා. පක්ෂයේ  අයට වෙන් කරපු විශේෂ සාප්පු වලට යන්නේ නැතිව පෝලිමේ හිටිය කඩෙන් බඩු ගන්න. විප්ලවීය නායකයෙක් හැටියට ප්‍රසිද්ධයි. එනිසා පක්ෂයේ මධ්‍යම  කාරක සභාවටත් ගත්ත. නමුත් මිනිහට සතුරෝ වැඩියි. පක්ෂයේ දක්ෂිනාංශය කකුලෙන් අදිනවා කියල යෙල්ට්සින් ඉවත් වුණා . ඉතිහාසයේ පළමු වතාවට මධ්‍යම කාරක සභාවෙන් කෙනෙක් ඉල්ලා අස් වෙන්නේ. විප්ලවවාදී මනුස්සයෙක් තමන්ගේ "විප්ලවීය" සගයන් කුහකකම් කරන කොට පක්ෂය හිරිහැර කරන කොට අනිත් පැත්තට ගිහින් උන්ව විනාශ කරලා අන්ත දක්ෂිණාංශිකයෙක් වෙන්නේ කොහොමද  කියල යෙල්ට්සින් පෙන්නුවා.  ඇත්තටම එහෙමද වුනේ නැත්නම් පරණ කොමියුනිස්ට් නිලදාරීන් රොත්ත දක්ෂිනාංශික ද ? යෙල්ට්සින් ලිබරල් නායකයෙක්ද?  ඕව තමයි ඔළුවට එන ප්‍රශ්න.

පක්ෂයේ ස්ටාලින්වාදීන් බලය ගොර්බචෝව් ගෙන් ගනිද්දී යෙල්ට්සින් විරය වගේ පැනල ඒක බේරුවා. නමුත් 1991 දී සෝවියට් දේශය ඇද වැටුන. යෙල්ට්සින් රුසියන් සමුහාණ්ඩුවේ ජනාධිපති වුණා.  ඊට පස්සේ ඉතිහාසයේ කරපු ලොකුම මෝඩකම යෙල්ට්සින් කෙරුව.රුසියාවට එකොනොමික් ෂොක් තෙරපි එකක් හෙවත් හදිසි ආර්ථික ප්‍රතිසංස්කරණයක් ගෙනාව. ඇත්තට  උනේ වෙන දෙයක්.  හොරෙන් බිස්නස්  කර කර හිටි හොරු ටිකකුයි , කේජිබි එකේ සහ හිටපු කොමියුනිස්ට් පක්ෂයේ ලොකු එවුනුයි රටේ සම්පත් ටික කොල්ල කා ගෙන හොර ධනපතියන් රැලක්  (robber baron ) නිර්මාණය කර  ගත්ත. ආයෝජන වෙනුවට උන් කලේ තියෙන දේ හොරකම් කරලා බටහිර රටවලට ගෙනිච්ච එක. තෙල් සහ  දියමන්ති සහ ස්වාභාවික සම්පත් තුට්ටු දෙකට දුන්න. මුළු සෝවියට් මාකට් එකම එහෙම්මම වැට්ටුව.  පුටින් ඇවිල්ල නවත්තනකම්ම ඕක තමයි වුනේ.


ඇත්තම කියනවා නම් මම තවමත් සෝවියට් දේශයට ආදරෙයි. එක පාරක් ලන්ඩනයේදී සෝවියට් දුම්රිය මාර්ග පද්ධතිය ගැන විස්තරයක් තිබ්බ ජාත්‍යන්තර  දුම්රිය සඟරාව (international railway journal) ක්  ගත්ත. සෝවියට් පස් අවුරුදු  සැලැස්මක් ගැන ඒකෙ තියෙන්නේ. (ඉහත පින්තූරය) දුම්රිය මාර්ග තව වැඩි කරන්න. ඇත්තට ම සෝවියට් දුම්රිය සේවය ඉතාම අනර්ඝයි. බඩු ප්‍රවාහනය  විතරක් නෙමේ මගී ප්‍රවාහනයත්.   බ්‍රිතාන්‍යය සහ ජර්මනිය තවමත් ඒ පද්ධතිය අගය කරනවා. අපි 84 ලංකාවෙන් සෝවියට් දේශයට ගියේ. ඒ කාලේ සෝවියට් දේශය ලංකාවට  වඩා පොහොසත් දියුණු රටක්. ස්ටාලින් මැරුණට පස්සේ 1961 කම්කරු සිර කඳවුරු (ගුලාග්) වහනවා. හැට පහේ සිට හැත්තෑවේ දශකය පහු වෙද්දී බටහිර වගේම ඩිස්කෝ සංගීතය ජනප්‍රිය වෙන්න ගත්ත සම්භාව්‍ය සංගීතය එක්කම. චිත්‍රපට, නාට්‍ය සහ සාහිත්‍යයේ පුනරුදයක් එනවා. රට පුරා මිනිසුන්ට නවීන ගෙවල් හදනවා . පළමු මිනිසා අභ්‍යවකාශයට යවනවා.  න්‍යෂ්ටික සහ අවි ආයුධ බලයෙන් ඇමෙරිකාවට සහ බටහිරට සම වෙනවා.
සෝවියට් දුම්රිය මාර්ග 

මොස්කව් වල යුගෝ සපද්නයා වල තට්ටු නිවස හෙම හොඳම බටහිර තත්වයේ ඒවා.  හැබැයි මොස්කව්  වලින් ඈතට යන්න යන්න තත්වය හෙමින් හෙමින් වෙනස් වෙනවා. මෙහම තිබ්බ රට අන්තිමට දියුණු වෙන්න ගත්තේ හුඟක්  හෙමින්.  ආර්ථික වර්ධන වේගය 1% වඩා අඩුවෙන්න  ගත්ත. ප්‍රශ්න එන්න ගත්තේ අන්න එතකොට.

මේ දවස් වල කියවමින් ඉන්නේ වොල්කාගොනව් ගේ පොත් පේලිය. දිමිත්‍රි වොල්කගොනව් සෝවියට් රතු හමුදාවේ තරු තුනේ ජනරාල් කෙනෙක්. වසර 1985 ඉඳන් යුධ ඉතිහාසය පිලිබඳ සෝවියට් ආයතනයේ හිටපු අධ්‍යක්ෂක. ස්ටාලින් ගේ ජිවිත කතාව ඔහු ලියන්න පටන් ගන්නේ 1978 ඉඳල. ඊට පස්සේ 1992 වෙනකොට ට්‍රොට්ස්කි ගැන හා ලෙනින් ගැන ලිව්වා.  ඔහුට රහසිගත ලේඛන පරිහරණය කරන්න අවසර  තිබ්බ නිසා ඔහුගේ සටහන් ඉතා වැදගත් ලෙස සත්‍යය පවසනවා. උදාහරණයකට ඔක්තෝබර් (නොවැම්බර් හත) විප්ලවයට මාස  තුනකට කලින් ට්‍රොට්ස්කි සහ ලෙනින් විප්ලවයක්  කරනවද නැත්ද  කියල දෙගිඩියාවකින් හිටි  බව. එසේම  හිටපු අගමැති පැරණි සමාජවාදියෙකු වූ  කෙරෙන්ස්කිට රුසියාව  ධනවාදී රටක් ලෙස   දියුණු කරන්න  ඉඩ දෙමු කියල හිතූ  හැටි. නමුත් වාස්තවික තත්වයන් හා අහඹු ලෙස පැන නැගුනු සිද්ධි සමුදායක් විසින් සියල්ල වෙනස්  කරන හැටි ඔහු අගේට ලියනවා.

ඔහුගේ "සෝවියට් අධිරාජ්‍යයේ නැගීම සහ වැටීම (the rise and fall of the Soviet Empire)" පොතේ මුල් පරිච්චේදයෙන් මේ ලිපිය අවසන් කරන්නම්.

"විසිවන සියවසේ දශක හතක්ම සෝවියට් දේශය ලෙනින් විසින් සිතියම් ගත කල මගේ ගමන් ගති.  එය සෙසු ලෝකයා භීතියට පත් කල සුපිරි හමුදා බලයක් ගොඩ නැගූ, ප්‍රබල තාක්ෂණික, කාර්මික, විද්‍යාත්මක හා හමුදා ආර්ථිකයක් සහිත දේශයක් විය. නමුත් එහි වෙසන වැසියන් ප්‍රීතිමත් කරන්නට හෝ නිවහල් කරන්නට එය අසමත් වුනි. එය ලෝකයේ පළමු වතාවට  මිනිසෙක් අජටකාශයට යැවූවත් තමන්ගේ වැසියන්ගේ මානව අයිතීන් දියුණු කිරීමට  කිසිවක් කළේ  නැත.   "ශ්‍රේෂ්ඨ ඔක්තෝබර්  විප්ලවය " කළ මිනිසුන්, "ශ්‍රේෂ්ඨ දේශප්‍රේමී යුද්ධය (1945 දෙවන ලෝක යුද්ධය) "  දිනු මිනිසුන් සහ රටේ  "ශ්‍රේෂ්ඨ කොමියුනිස්ට් වාදී සමාජයක් ගොඩ නැගීමට " වෙහෙස වූ මිනිසුන් නිදහස හෝ සෞභාග්‍යය හෝ වෙනත් කිසිවක්  තමන්ගේ ඒ මහා මහන්සියට නොලැබූහ.  "උරහිසෙන් උරහිස"  ගැටී ලෙනින්වාදී මග ඔස්සේ ගිය පෙළපාලියේ ඉඩක්  වෙන් කර තිබුනේ උරෙන් ඇන  එළවා දැමූ "පුද්ගලයාට" නොව "මහා ජනතාවට" පමණි .

සෝවියට් ජිවිතයෙන් බිඳක් 1


Friday, 3 November 2017

ක්වන්ටම් යුගල බන්ධනය හෙවත් සහසම්බන්ධතාවය

මේක ලියන්න හිතුනේ අද ෆේස්බුක් එකේ දැකපු පෝස්ට් එකක් නිසා. ශා දන්තනාරායන අහපු ප්‍රශ්නෙකට පිළිතුරු ලෙස ක්වන්ටම් පැටලිල්ල වගේ පිලිතුරුත් තිබුන නිසා. මම තේරුම් ගත්තේ නම් මේක entanglement හෙවත් එකට පැටලුනු තේරුම ඉංග්‍රීසි වචනෙට තිබ්බට ඇත්තටම ෆෝටෝන අංශු දෙකක් සම්බන්ධය ගැනයි කියවන්නේ.

අපට ක්වීන්ස් මේරි විශ්ව විද්‍යාලයේ අභ්‍යවකාශ විද්‍යාව (cosmology) උගන්වපු රුසියන් සර් ආචාර්ය අලක්සන්ඩර් පල්නාර්යේව් මෙහෙම ලස්සන කතාවක් කිව්වා. . එකම වගේ නිවුන් සහෝදරියෝ  දෙන්නෙක් රුසියාවේ  ඉඳන් එක්කෙනෙක් ඔස්ට්‍රේලියාවට හා අනිත් කෙනා එංගලන්තයට එනවා ඈත කාලයක. නැව් ගමනාගමනය තිබ්බ කාලේ. ලියුමක් යන්නත් මාස ගාණක් යනවා. මේ දෙන්න කතා වෙනවා හැම ඉරිදාම දවල් එකට දෙන්නම මේසෙක උතුරට  මුහුණ දීලා ඉඳගෙන රතු වයින් වීදුරුවක් බොනවා කියල. ඔහොම කාලයක් යනවා. මේ අතරේ  පුවත්පත් කලාවේදියෙක් එංගලන්තයේ සිට ඔස්ට්‍රේලියාවට යනවා. එහිදී අර නිවුන් සහෝදරියගේ නිවසට යැවෙනවා ඉරිදාවක දහවල් භෝජනයට. එහිදී අනිත් කවුරුත් ගණන් ගත්තේ නැතත් නිවුන්  සහෝදරිය උතුරට මුහුණලා රතු වයින් වීදුරුවක් පානය කරනවා ඔහු දකිනවා. ඔහු කල්පනා කරනවා තමන් මේ විධිහෙම කෙනෙක් එංගලන්තයෙ ඉරිදාවක දහවල් එකට මෙයම කරනවා දැක්ක නේද කියල.

ක්වන්ටම් සහසම්බන්ධයේදී වෙන්නත් එවැනිම දෙයක්. මේ ෆොටෝන් අංශු දෙක හැසිරෙන්නේ එකම විධිහට. හැබැයි පොඩි වෙනසක් එක්ක. ක්වන්ටම් අංශු වල භ්‍රමණය (ස්පින්) කියල දෙයක් තිබෙනවා. මේක පැහැදිලි කරන්න pauli exclusion principle හෙවත් පෞලි ගේ නිෂේධන නියමයෙන්  (ඉවත්කිරීම හෝ බැහැරවීම) පුළුවන්.  වොල්ෆ්ගන් පෞලි කියන ජර්මන් ජාතිකයා කිව්වේ ඕනෑම එක වාගේ  ෆර්මියන් (fermion) අංශු දෙකක් හෝ කිහිපයක් එක ක්වන්ටම් පද්ධතියක එකම ක්වන්ටම් තත්වයක (state) පවතින්නේ නැහැ එකම මොහොතකදී (simultaneously). එලෙක්ට්‍රෝනයක් ගත්තොත් එකක භ්‍රමණය 1/2 (ස්පින්) යි නම් අනික -1/2.  (ක්වන්ටම් නොම්මර හතරක් තිබෙනවා. n, l, mℓ ,ms   )

ක්වන්ටම් සහබන්ධනයේදී මෙමෙ ක්වන්ටම් අංශුන් දෙකක් (හෝ ඊට වැඩි ගණනක් ) එකිනෙකට ස්වාධීනව කොතරම් දුරක හිටියත් එකම විධිහට හැසිරීම. ඒ කියන්නේ දුරේ ප්‍රශ්නයක් නැතිව දෙන්න එකම පද්ධතියක් ලෙස සිටීම. සියයට පනහක (50%) පමණ අවස්ථාවකදී මේ අංශුන් දෙකේ භ්‍රමණය හෙවත් ස්පින් එක ප්‍රතිවිරුද්ධ අතට තියෙන්න පුළුවන්. හැබැයි දෙකම සම්පුර්ණ ස්පින් එක බින්දුවයි. (1/2-1/2=0) 
එසේම එක අංශුවකට මොකක් හරි පරීක්ෂණයක් කලොත් අනික් අංශුව ඒ බව දන්නා විධිහට හැසිරෙනවා. උදාහරණයකට කිවොත් එකකට ගැහුවොත් අනිකා උඩ පනිනවා. ආලෝකයේ වේගයටත් වැඩියෙන් මෙම තොරතුරු අංශු දෙක අතරේ හුවමාරු වෙන්නේ කොහොමද කියල තවම දන්නේ නැහැ.

කොටින්ම මෙහෙම  සහසම්බන්ධතා ඇති අංශුන් එකම පද්ධතියක් ලෙස හැසිරීම භාවිතා කරලා තමයි ක්වන්ටම් කොම්පියුටින් හෙවත් ක්වන්ටම් පරිගණක ක්‍රියාකාරීත්වය නිර්මාණය කරගෙන යන්නේ. කෙටියෙන් ඒක  තමා අදහස. 

මගේ බෞද්ධ ඉතිහාසයක් තියෙන නිසා මට එකපාරටම මතක් වුනේ අර බුදුන් වහන්සේ යමා මහා පෙළහර පාන කතාව. (දැන් මේ ආගම ඔප්පු කරන්න යනවා නෙමේ. උදාහරණයක් විතරයි) එතැනදී  අපි අහල තියෙනව බුදුන් දෙතැනක හෝ කිහිප තැනක එකම මොහොතේ  පෙනී හිටිනවා කියල. මට හිතෙනවා ටිකක් අන්න ඒ වගේ කියල. (මෙය යමා  මහා පෙළහර ඔප්පු කිරීමට ලියුවක් නොවන බව කරුණාවෙන් සලකන්න.)



ක්වන්ටම් සහසම්බන්ධය ඔප්පු කිරීම ට කල පරීක්ෂණ මොනවාද? ජෝන් බෙල් කියන විද්‍යාඥයා කිව්වේ අංශුන් දෙකක් වෙන් කරලා දෙකම ඉතාමත් දුරින් තබල  මේක ඔප්පු කරමු කියල. හැබැයි මෙතැන පොඩි ප්‍රශ්නෙකට ආවේ කොහොමද හරියටම කියන්නේ මේවා සහසන්ධීය  අංශුන් කියල.  එසේම මේ අංශුන් හොරෙන් එකිනෙකා සමග කතා කර ගන්නවද කියල හොයන්නේ කොහොමද? 


ඇමෙරිකා  එක්සත් ජනපදයේ ඩෙල්ෆ්ට් විශ්ව විද්‍යාලයේ ක්‍රිස්ටර් ෂාම්, හැන්සන් සහ සෙලින්ගර් මේ ප්‍රශ්න මග හැරලා පරීක්ෂණයක් කලා. දියමන්ති දෙකක අංශුන් කිලෝමීටර් 1.3 ක දුර ප්‍රමාණයකින් වෙන් කරලා.  ඔවුන් කිසිම නිර්මිත වෙලාවක් හෝ තත්වයක් නැතිව මෙම අංශුන් නිරීක්ෂණය කලා. දුර ප්‍රමාණය නිසා ආලෝකයේ වේගයෙන් හැර වෙන ක්‍රමයකින් මේ දියමන්ති අංශුන් වලට තොරතුරු හුවමාරු කරගන්න බැහැ. ඔවුන් සියලුම සහසම්බන්ධ අංශුන් පරීක්ෂා  කලා. මේ පරීක්ෂණය මෙහි විස්තර කරනවා. මෙහිදී ඔප්පු කර ගත කි වුණා මෙය සත්‍යයක් බව. 

දෙවන පරීක්ෂණය කරන ලද්දේ වියන්නා  විශ්ව විද්‍යාලයේ. ඔවුන් අංශුන් තිබ්බේ  කැනරි දූපත් (ස්පාඤඤ) වල ලා පල්මා වල සහ ටෙනරිෆ් වල එකිනෙකට කිලෝමීටර් 143 පමණ ඈතින් .  එනිසා  ළඟ තිබෙන වෙනත් දෙයක හෝ අංශුන් වල බලපෑමක් නැහැ. එසේම අහඹු ලෙස (random) නොම්මර තෝරන  ක්‍රමයකින් අංශුව තෝරා ගත්තේ .  ඒ කියන්නේ ස්වාධීන තෝරා ගැනීමකට ඉඩ හැරලා. මෙහිදී ෆෝටෝන් මූලාශ්‍රය එක කාමරයකත් මීටර 100 එහායින් කාමර දෙකක ඩිටෙක්ටර්ස් හෙවත් පරීක්ෂක උපකරණත් තබා තිබුණ. එම පරීක්ෂණයේදී බාධාවක් විරහිතව මෙය ඔප්පු වුණා.

ඔප්පු කිරීමේ පරීක්ෂණ ගැන කියවන්න.
https://www.nature.com/articles/nature15759
http://www.pnas.org/content/112/46/14202.abstract


Tuesday, 31 October 2017

රත්න ශ්‍රී විජේසිංහයන් නම් කළ ලන්ඩනියම් හි ගී මන්දාව - 2

පළමු ලිපිය : සන්ධ්‍යාවේ මිහිරිය - ලන්ඩනියම් හි ගී මන්දාව - 1

රත්න ශ්‍රී ගී මන්දාවේ  

මුලින් ලිවූ ලිපිය  සඳහන් කළ "තොටිල්ලක් වන්" ගීතය පැබඳුයේ රත්න ශ්‍රී විජේසින්හයන්ය. වයලීනයේ ශෝකී හඬ මැදින් ගැයෙන මුල් පද මෙලෙස සවනත වැකේ.

"තොටිල්ලක් වන් ගල් පඩිය උඩ  පුතේ නුඹ නිදියාන උන්නා
බුහුටි හුරතල් සිඟිති අතපය මුහුණ නිල් වී තැලී තිබුණා
කාලෙකට පෙර හැර ගියත් නුඹ මට කඳුළු ඉතිරිවී තිබුණා
මගේ පුතේ මම මෝචරිය ළඟ නොමැරී මැරෙමින් හඬා වැටුනා
නොමැරී මැරෙමින් හඬා වැටුනා"

තම සිඟිති පුතු සොයමින් ගිය පියාට මෝචරියේ සීතල සිමෙන්ති පඩිය තුල ඔහු ගේ නිසල දේහය හමුවූ අයුරු මැවී පෙනෙන්නේ සංගීතය ද සමගයි. දර්ශන දිසානායකයන් සංගීතය මුසු කරන්නේ අවසන් පද පේලියෙන් හිතට දැඩි යවුල් පහරක් දෙමිනි.  එලෙසින්ම රත්න ශ්‍රී කිසි පැකිලීමක් නැතිව "මෝචරිය " යන ඉංග්‍රීසි වදනේ සිංහල උච්චාරණය භාවිතා කරයි. එය කාව්‍යමය ලෙස ගීතය හා සබැඳේ. (මේ සමහර ගොරහැඩි වදන් කාව්‍යමය භාෂාවක භාවිතා නොකළ හැකියි සංවාදයක් ගියා මතකද?)

"මව්කිරින් රුධිරයට පෙරෙමින් බිඳින් බිඳ මහා පොලොව තෙමුවා
මෙළොව මා දුටු සීතලම දේ නුඹේ ඇස් අග මිදී තිබුණා "

 රත්න ශ්‍රී අපට දරුවාගේ ඇස් අග රැඳුනු අවසන් කඳුළු බිඳ ගැන පවසන්නේ  "මෙළොව පියා දුටු සීතලම දෙය " මැයිනි. මේ ගීතයේ ප්‍රබලම වදන එයයි මට සිතේ.

"කෝටු වේවැල් අතුල් පහරින් පාරමී ගුණ දහම් මැරුණා " රත්න ශ්‍රී කියන්නේ  මේ බෝසතුන් මෙන් පාරමී දම් පිරූ  ගමනක් නොවන බවය.

"දෙව් දතුන් ගේ ඇසුර ළඟ බුදු පදවි කුමටද කියා හිතෙනා "
 බුදු පදවිය ලබන්නේ කුමටද? අප  ජිවත් වන්නේ දෙව්දතුන් සමග නම්. බෞද්ධ රටක සම්මත සම්ප්‍රදාය බිඳිමින් රත්න ශ්‍රී විමසන්නේ බුදු පදවි අවශ්‍යද ඔබ වසන්නේ දෙව්දතුන් සමග නම් කියායි.

මේ ගීතයේ මා තරමක් හෝ  එකඟ නොවන්නේ යකිනි යෙදුමටය.
"යකින්නන් ගෙන් මෙලොව පිරෙනා"  දරුවාගේ ශෝචනීය මරණයට හේතුව එසේත් නැත්නම් ඝාතනය කිරීමේ පව මුළු මනින්ම මව පිටේ පැටවීමක් යයිද  කියා කුකුසක් මසිතෙහි පැන  නැගුණි. මව පමණක් නොව දඬුවම් දුන් සුළු පියාද දරුවා සොයා ගත නොහැකි වූ පියාද අතවර දැක දැක නිසොල්මන්ව සිටි අසල්වැසියන්ද මේ යක් ගණයටම නොවැටෙන්නේද?

ගී මන්දාව එනමින් නම් කෙරුනේ රත්න ශ්‍රී ගේ යෝජනාවෙන්ය කියා දැන  ගන්නට ලැබුණි.  ඉතින් තමාම නම් කල මේ ගී මන්දාවේ තවත් ගීතයක් ඔහුගේම සුවිශේෂී අත් දැකීමක් විය. ඒ "සුදු නෙළුම කෝ සොරබොර වැවේ" ගීතයයි. එම ගීතය ලිවීමට පසුබිම ගැන ඔහු පැවසූ විස්තරය මේ වීඩියෝවේ නැවත කියවෙන හෙයින් ඒ ගැන නොලියමි.

රත්න ශ්‍රී දඬුවම් මාරුවක් ලැබී මොනරාගල රැකියාව කළ අවධියේ නෙළුම්  මල් විකුණා පාසලට අවැසි පොත පත ගන්නට මුදල් සෙවූ දැරියක් නෙළුම් මල් නෙලනට යද්දී  සොරොබොර වැවේ ගිලි මිය යයි. ඇයගේ මරණය අමරණිය වන්නේද ඒ දරුවන් තම ජීවිතය ගොඩ නගන්නට දරන තැත වියකි මිය යන විට අපේ  හදවත කෝපයෙන් දැවෙන ශෝකී අවසානය විදහා දක්වන්නේද  මේ කලාකරුවන් අතිනි. ඒ ගීය ගැන සිතන   මට කුස ගින්න නිසා පාසල් ගොස් සිදුවූ හදිසි අනතුරකින් පාසලින් නෙරපූ දියණියක් ගැන  අසන්නට ලැබෙනුයේ 2017 වසරේය. ගීය ලියවුනේ වසර විසි පහකටත්  කලින්ය. අහෝ තවමත් අප හැරදා ආ ඒ සුන්දරම සුන්දර දිවයිනේ මිනිසුන් වෙනස් වී නැතිද?

අමරදේවයන් ගයන ගීයේ  කොටසක්  මෙසේ වෙයි.

"සුදු නෙළුම කෝ සොරබොර වැවේ
මල් සුවද දුන් මහියංගනේ
පුන් පෝයදා පාළොස්වකේ
මල් නෙලා විකුණු පන්සලේ "

ඒ සුදු නෙලුම් තවමත් විඳින්නේ එම හිංසාවන් මද?

 තමන් අත් විඳින ඕනෑම සුඛ හෝ  දුක්ඛ දෝමනස්සයන්  වදන් පෙළකට  කැටි කර සවනට යොමු කරන්නට සුවිශේෂී හැකියාවක් මේ සොඳුරු මිනිසා සතුය. එම වදන් පෙළවලට විශ්වීය ස්වර කිහිපයකින් සංගීතයක් නිමවන්නට තවත් සුවිශේෂී  දක්ෂතාවයක් ඇති  මිනිසෙකුට හැකිය. යුග දෙකක වුවද මේ දර්ශන නම් ගාන්ධර්වයා ගේ  හා  රත්න ශ්‍රී නම් කාව්‍යයන්  ගී කරන නිමැවුම් කරුවාගේත් සුසංයෝගයෙන් මැවුනේ විශ්වීය සංගීතයකි.

රත්න ශ්‍රී අතින් ලියවෙන්නේ  ඔබ අප  හැමදා අත් දකින යථාර්තයමය.

"උඩරට කඳුකර සිරියා පරදන රූබර මුහුණ ඔබේ 
රතැඟිලි දිගු කොට මදහස නංවන තේ දළු නෙලන ළඳේ "

රත්න ශ්‍රී අසන්නේ රාත්‍රියේ බීමතින් පැමිණෙන  සැමියා ගේ පහර කා හිමිදිරි පාන්දරම යන්තන් කහට කෝප්පයක් පමණක් බි තේ දළු නෙළන්නට දුවන ගැහැණියගේ කඳුකර  සිරියා  පරදන රූබර මුහුණක් දුටුවෙකු සිටියේද යන්නයි. විනෝද ගමන් යද්දී මේ ගීය මාද ගයා ඇත. ඇත්තෙන්ම මට එහෙම සිතුනේද නැත. මේ ගීය  ලියූ රචකයා ට හෝ ගායකයාට හා ගායිකාවට අපහාස කරනවා නොවේ. එය සොඳුරු ගීයකි. සමහර විට මෙවැනි ගීද  ලියවෙන්නේ නැත්නම් අපට සැසඳීමට ද නොහැකි  වනු ඇත.

තේ දළු කඩා ලංකාවේ අපනයන ආදායම වැඩි කරන දෑතේ ඇඟිලි අව්වට කරවී, තේ දල්ලේ කහටින් කළු පහ ගැන්වී ඇති, අතු රිකිලි ඇනී තුවාල වුනු අත් ඇති   තේ දළු නෙලන ළඳුන්  ඔබට බොහෝ විට බයාදු සිනහවක් පාන්නට ඇත.

"අප ණය ගැති වෙමු සුකොමල දෑතට තේ දළු නෙලන ළඳේ  " - මේ මවා ගත් යථාර්තය සැබෑව නම් අප ණය ගැති  විය යුත්තේ කරගැට පිරුණු දෑතකටය.  ප්‍රශ්නය වන්නේ අප ණය ගැති  වෙමු කරගැට දෑතට කියා ලිවීමෙන් එතැන ගීතයක් මැවේද යන්නය. රත්න  ශ්‍රී ගේ ගීතයන් වෙනස්  වන්නේ ඔහු සොඳුරු ලෙස පබඳින පද වලින්  සත්‍යය නොසඟවන හෙයිනි.

රුවන් දිසානායක කියන්නේ ප්‍රථම ආදරයේ බිඳ වැටී ඇත්නම් ඒ වේදනාව රැගෙන ඔබ ජිවත් විය යුතු බවය. ජීවිතය හැර දමා පලා යන්නෝ මෝඩයන් වෙති. ඒ වේදනාවේ කිසියම් ආකාරයක ශ්‍රුන්ගාරාත්මක  සතුටක්ද පවතී. ජිවිතයට දිරි දෙන්නේ වේදනාව   තුලින් නැගිටින මිනිසාටය.  ජීවිතය  ඉවත දමා පලා යන දුබලයාට  නොවේ.  දර්ශනට අනුව ප්‍රථම ප්‍රේමය අහිමි වීම ප්‍රශ්නයක් නොවේ. අත්දැකීමකි. නව නිර්මාණයකට අත්වැලකි.  රත්න ශ්‍රී කියන්නේ ප්‍රථම ප්‍රේමය ජය ගත යුතු බවය.  ජය ගත නොහැකි නම් එය වෙනම කතාවකි.

ඉතින් තමන්ගේ මේ ප්‍රථම ප්‍රේමය ජය ගත් ගීත රචකයා ආණ්ඩුවේ දඬුවම් මාරු ලැබ  වෙනත් නගරයක  රැකියාවට යයි. යන්නේ ප්‍රේමනීය බිරිඳ හා දරුවන් හැර දමාය. නමුත් සිරිසඟබෝරජු මෙන්  දරුවන් හා බිරිය ජූජක බමුණාට දන්දී නොවේ.

"මගේ බිසවුනේ අසාපන්" ගීතය ලියවෙන්නේ ඒ අනුවය. බසයේ නැගී අඩුම කුඩුම පොදි  බැඳගෙන බිරිය දරුවන් හැරපියා දුර බැහැර රැකියාවට යද්දී ලියවෙන ගීතය එයයි.

මට යන්න දෙන්න. ඔහු කියයි.

මගෙ බිසවුනේ අසාපන්
නුඹ මන්ද්‍රි දේවි නොවුණී
දුෂ්කර වූ ඒ පළාතේ
මට යන්න දෙන්න දේවී

මහියංගනයට (එසමයේ  ලංකාවේ සයිබීරියාවට ) ඔහු යා යුතුය. ඒ හිමයේ  ඇයට යන්නට බැරිය.  කුලී නිවසේ හෝ ඉඳපන් ය.

මේ කදුළු ඇයිද දෑසේ
බෑ යන්ට නුඹට හිමයේ
ගොස් ඉන්ට කුලී නිවසේ
විෂ ඝෝර සර්ප භවනේ

මම සිරි සඟබෝ නොවේ. උඹ දරුවන් රැක  ගනින්.

නුඹ චන්ද්‍ර මඩල වැන්නේ
සා පැටවු එහි නිදන්නේ
හාමතේ නොලා දරුවෝ
නවතින්න බිසවු නගරේ

ලංකාවේ දිළිඳු පන්තියේ පිරිමියා රැකියාවක් කළ නොහී අඹු දරුවන් රක්නට බැරිව බිරිය යවන්නේ මැද පෙරදිග වාල් කමටය. අද හොඳින්  ජිවත් වෙන බොහෝ මධ්‍යම පන්තිකයන්ගේ ද මුස්ලිම් වරුන්ට ගහන්නට කතා කරන අයගේ ද රටේ සුභ සාධනයට ගත් ණය වල පොලී  ගෙවන්නට ඊළඟ වැඩිම ආදායම එන්නේ මේ මැද පෙරදිගිනි.

මා පිය බිරිඳ ජීවිතය දී හෝ ඔබ රකින්නම්. රට යන්නට ඕනෑ නැත.

නුඹ නොදී එතෙර රටටා‍
දරු නොදී වාල් කමටා
දිවි පුදා තොප රකින්නම්
නොපුරා ‍එහෙත් පෙරුම් දම්

සිහිනයෙන් ඔබ පැමිණ යන්න. ඒ හොඳටෝම ඇති. අපි ජය ගත්තා නොවැ ප්‍රථම ප්‍රේමය.

නුඹ චන්ද්‍ර මඩල වැන්නේ
සා පැටවු එහි නිදන්නේ
හිමවතට ඇවිත් හීනෙන්
සිත සඳුන් තවරපන්නේ

මා  එනතුරු ඔබ ජිවත් වෙන්න පිය බිරියනේ කියා ,  වෙන්වීමේ දුක දරාගෙන යන ගමනේ කවියා කාන්සාව  නිවා ගන්නේ, දුක පියවා ගන්නේ කොලයක කුරුටු  ගෑ ගීයකිනි.
මේ ගීයේ සංගීත නිර්මාණය  හා ගායනය ගුණදාස කපුගේ ශුරීන් විසින්ය.
 රත්න ශ්‍රී ගේ ගී වල අසන්නාට කියනුයේ  ජිවිතයේ දුක හෝ සැප සමසේ විඳින්නට  මිස පලා යන්නට නොවේ.

රත්න ශ්‍රී  විසින් නොලියූ  එහෙත් කාව්‍ය තරඟයකදී රත්න ශ්‍රී  තෝරාගත් කවි පෙළක් ගීයක් වී දර්ශන දිසානායකයන් ගේ සංගීතයෙන් ජිවය ලැබ මෙසේ සවනට ලං වෙයි. ගීතය ලියා ඇත්තේ රජීව  වෙල්ගමයි.



 මේ තරම් සියුමැලිද කළු ගල්
හිතන්නට වත් බැරි නිසා මම ගියා අවුකන බුදුන්ටත් දෑස් දුන් මිනිසා සොයා දෑස් දුන් මිනිසා සොයා....

බොහෝ දේ ලියැවී ඇති මේ ගීතය පිළිබඳ මා අටුවා ටීකා ලිවිම අවශ්‍ය නැතැයි සිතමි.

රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගීත වල පසුබිම් කතා බොහොමයක් ඇත. මා පෙර කලෙක ලිවූ ලිපියකි මේ  අගෝරාවට හෙළි කල රත්න ශ්‍රි ගේ විරහ ගීතය. ඔහු ඒ ගීතය ගැන ගී මන්දාවේ  කළ හැඳින්වීම මේ ලිපියේ  එලෙසින්ම සඳහන් වේ.   

ගී මන්දාවේ ගීත ගයමින් අපේ ගී සරතැස නිවමින් රත්න ශ්‍රී විජේසිංහ හා දර්ශන රුවන් දිසානායකයන් ට ගායනයෙන් සහය දුන්නේ සංඛ එදිරිසිංහ, විශාරද දනුෂා සමන්මලී, ගංගා මාලි හා විශාරද දිමුතු තිලකරත්නයන් ය.

මේ ලිපිය තවමත් මට අවසන් කරන්නට නොහැකිය.

එනිසාම ~ මතු සම්බන්ධයි ~ කියා ලියමි.

Sunday, 29 October 2017

සන්ධ්‍යාවේ මිහිරිය - ලන්ඩනියම් හි ගී මන්දාව - 1

දර්ශන රුවන් දිසානායක ගී මන්දාවේ 
ලන්ඩනියම් යනු ලන්ඩනයට රෝමානු සමයේ භාවිතා කළ නමයි. ඒ ක්‍රිස්තු වර්ෂ 43 සිට රෝමානු පාලනය අවසන් වූ පස්වන සියවස දක්වාය. ඉන්පසු ලන්ඩනය නමින් නම වෙනස් වී ගියේය. මට මෙය මතකයට නැගුණේ වර්තමාන ලන්ඩනියම් වලට පැමිණි අපූර්ව අමුත්තන් දෙදෙනෙකු නිසාය. ඉනුත් පළමුවැන්නා  රාවණා කාලයටම අප රැගෙන ගිය නිසාය. අනෝමා වත්තලදෙණිය ඇගේ මනරම් සේම ව්‍යක්ත බසින් අපට ඔහු හඳුන්වාදුන්නේ එස් එල් මෝසාර්ට් ලෙසය (එස් එල් - ශ්‍රී ලංකා). පසුව දැනගත් පරිදි ඔහුගේ අන්වර්ථ නාමය දර්ශන රුවන් දිසානායකය. නව නම  භෞතිස්ම කර ඇත්තේ මහාචාර්ය කාලෝ ෆොන්සේකා යයි අනෝමා පැවසුවාය.
වාද්‍ය ඛණ්ඩය 

ඉදින් සංගීතඥ දර්ශනයන්  විසින් පයිතොගෝරසයන් ගණිතය මෙන්ම සංගීතයද හැදෑරු බව අපට කියා දුන්නේය. (පයිතගරස් විසුවේ බුදුන් සමයේ හෝ ක්‍රි පූර්ව  හයවෙනි සියවසේය ). ගණිතය උගත් අප දන්නේ පයිතගරස් ප්‍රමේය ගැන පමණය. නමුත් පයිතගරස් සංගීතයෙ හිද  කෙළ පැමිණියෙකි. පස්වන ස්වරය මෙන්ම (මේ ලියන්නේ සංගීතවේදියෙකු නොවන මට තේරෙන විධිහට පමණක් බව කරුණාවෙන් සලකන්න.) පයිතගරස්  සුසරණය හා සප්තකය (පින්තූරය බලන්න -pythagorean tuning and scale) පිළිබඳ හැඳින්වීමක් කළ ඔහු යුරෝපීය පුනරුදය දක්වා අප ගෙන ආවේය. ඔහු චෝදනාවක්ද   කලේ රටවල් තුනකට භාග වශයෙන් හා පූර්ණව යටත්ව සිටියද එම රටවල සංගීත පුනරුදය එනම් සම්භාව්‍ය සංගීතයේ දියුණුව  උකහා ගන්නට ලාංකිකයන් පොදුවේ අසමත් වූ බවයි.
පයිතගෝරියන් සප්තකය ගැන වඩා දැනගන්න මෙතැනින් හැකිය.

එය එසේ වුවද රාවණා කාලයේ සිට (ක්‍රිස්‌තු පූර්ව වසර 5000 - 6000 ක) ඈත අතීතයකට හිමිකම් කිව හැකි සංගීත සාහිත්‍යයක් ලංකාවට උරුම බවද එය  ජන සංගීතයේ විකාශනය අනුව ඔප්පු කල හැකි බවද  සංගීත ඛණ්ඩයන් මගින් දර්ශන රුවන් පහදා දුන්නේය.  මහා රජු රාවණා ගැන  කතාවල් බොහෝවිට උපහාසයට ලක්වන්නේ එයට ඈඳී ඇත්තේ  සැබෑ යයි කීමට සාධක නැති මනඃකල්පිත කථා සාගරයක් බැවිනි. එහෙත් මහාවංශ කාරයා කියන සිංහයෙකු සමග රමණය කිරමෙන් බිහිවූ ජාතියකට වඩා කපු කටින (රෙදි හැඳි)  ශිෂ්ටාචාරයකට උරුම කම් කිවූ කුවේණි වැනි මිනිසුන් සහ ගැහැණුන් ගෙන් ලාංකිකයන්  පැවත ඒ යයි විශ්වාස කිරීමට මම මැලි නොවෙමි. ඒ ශිෂ්ටාචාරයේ සිට පැවත එන ජන සංගීතයක් තිබේ නම් එය පිළි ගැනීමටද මැලි නොවෙමි. දර්ශනගේ කුවේණි ගීතයට සවන් දෙන්න.


 හය දහස් වසරක් පමණ පැරණි සුමේරියන් මෙසොපොටේමියන්  ශිෂ්ටාචාරයේ සිටත් එලෙසම ජන ගී පැවත  එන බව කී දර්ශන යුරෝපිය ගීතයෙන් පසු අප නූතන සංගීතයේ පරිණාමික නිමේශයට ක්‍රමයෙන් අපත් රැගෙන පැමිණියේ සමහර වැදගත් තැන්  අමතක කර ලමිනි. එහි වැරැද්ද ඔහුගේ නොව ප්‍රසංගය පමාවී පටන් ගැන්මයි. කොපමණ දීර්ඝ ශිෂ්ටාචාරයක් තිබුනද  ඇතැම් ප්‍රේක්ෂකයන්ගේ පමාවී පැමිණීම සේම  ශබ්ද සපයන කණ්ඩායමේ පමාව ද මෙයට හේතු වී ඇත. පමාවී යමක් කිරීමේ ශිෂ්ටාචාරයක් ඒ කාලයේ සිටම පැමිණි ජාතික ලක්ෂණයක් ද කියා විමසීමත් වටී.

 රුක්මනි දේවියගේ සිට සුනිල් ශාන්තට කළ ජාතික  මට්ටමේ කෙනෙහිලි දක්වා පැමිණි ඔහු අමරදේවයන් ගේ බලපෑම සහ ඉන්පසු හැත්තෑවේ දශකයේ සංගීතයේ පිබිදීමත්  එයට එදවස සෝවියට් සංගීත සාහිත්‍යයේ බලපෑමත්  පහදා දුනි.  සංගීතඥ දර්ශනයන් විවෘත ආර්ථිකයෙන් පසු බටහිර සහ පෙරදිග නාද  රටා  සංකලනයෙන් මතුවූ අපුර්ව සංගීතයක් ක්ලැරන්ස් විජේවර්ධන ආදීන්ගේ ගීත තුලින් ඉස්මතු වූ බව පෙන්විය. ඇත්ත වශයෙන්ම කාලය මද වීම නොවන්නට තවත් පැයක් හමාරක්  අසා  සිටින්නට තරම් ඔහුගේ විස්තරය මන බඳින, දැනුම වඩන පුළුල් පරාසයකින් සමන්විත වුවක් විය.  ඒ අතර වාදනය කරන සංගීත ඛණ්ඩයන්ගෙන් සභාවේ මන පිනවීමට ඔහු සමත් විය.

සංගීතඥ දර්ශන දිසානායකයන් විසින් නිමැවූ  ගී අතර තමිලිනී වෙනුවෙන් දෙමළ  සහ සිංහල බසින් ගැයූ ගීතය සහ ඔහු විසින් සම්පාදිත සංගීතය ප්‍රබලය.
 
 ඔහුගේ දහසකුත් එකක් ගීත සහ වාදන  අතරේ කුඩා දරුවෙකු වෙනුවෙන් ගැයූ මේ ගීතය සුවිශේෂී එකකි. මේ දරුවා ජිවත්ව ඇත්තේ පොළොන්නරුව රොටාවැව ප්‍රදේශයේය. ඔහුගේ මව පියා  අතහැර දමා තම සිඟිති පුතුද රැගෙන අනියම් සැමියා කරා ගියාය.  සිඟිත්තාගේ පියා ඔහු සෙවූ නමුත් හමු වුයේ නැත. අනියම් සැමියා හෙවත් බාප්පා දරුවා රිස්සුවේ නැත. ඔහු සහ මව සිඟිති දරුවාට දිනපතාම පහර දුන්හ. ගැමියන් විටින් විට මේ ගැන දොස් පවරා  තිබුණි.  එහෙත් කවුරුත් දරුවා බේරා ගත්තේ නැත.

එක් දෛවෝපගත දිනෙක දරුවාට පහර දුන් මව ඔහුගේ හිස දෙතුන් වතාවක් ගසක වැද්දූ  නිසා දරුවා සිහිසුන් විය. ගැමියන් දරුවා රෝහලට රැගෙන  ගිය මුත් ඔහු අවසන් සුසුම් හෙලීය. දරුවාගේ පියාට සිඟිත්තා  මුණ ගැසුනුයේ මෘත ශරීරාගාරය තුලදීය.  ඔහුගේ දෙඇස් අග කඳුලක් මිදී තිබුණි. මේ සංවේදී සිද්ධිය ඉතා හැඟීම්බරව  දර්ශනයන් විසින් විස්තර කරද්දී ප්‍රේක්ෂක නෙත් වල කඳුළු පිරෙන්නට ඇත. මේ ගීතය මහා කවි රත්න ශ්‍රී විජේසිංහයන් අතින් ලියවෙන්නේ දර්ශනයන් ගේ සංගීතයෙන් අමරණීය වී ගැයෙන්නේ  ඒ අහිංසක දරුවා වෙනුවෙනි.  අහන්න ගීතයක් ඔබේ හදවතට ආමන්ත්‍රණය කරන අයුරු. (ගායනය දුමාල් වර්ණකුලසූරිය)

මේ ශ්‍රී ලංකාවේ වත්මන් සමාජ තත්වයන් තුල එක දරුවෙකුගේ ඛේදවාචකයකි. යථාර්තය ඔබට සමීප කරන්නට කලාකරුවකුගේ සාතිශය වැදගත් කාර්යභාරය වැටහෙන්නට මෙයම ඇති.

මේ සමග ලිවිය යුතු වන්නේ මෙම ප්‍රසංගය සංවිධානය කිරීමේ එක අරමුණක් නම් රූරි නමැති පදනමට ආධාර පිණිසය යන්න.   එංගලන්තයේ මිල්ටන් කීන්ස් නගරයේ සහ බම්බලපිටියේ මුලස්ථානයන් පිහිටුවා ඇති මේ පදනමේ  සුවිශේෂී කාර්යයක් වන්නේ අතවර වලට පත් ළමුන්ට හා වැඩිහිටියන්ට සායන පවත්වා ඔවුන් පුනරුත්ථාපනය කිරීමයි.  සභාවට ආයාචනයක් කළ එහි සම ප්‍රාරම්භක සුමුදු එදිරිසිංහ මහත්මිය අතවර නිසා ඉපදුනු ළමුන් සමුහයක් බැලීමට සිය දෙමාපියන් සමග ගිය අවස්ථාවන් සිහිපත් කරමින් පැවසුයේ අති විශාල සංඛ්‍යාවක් ළමුන් ශ්‍රී ලංකාවේ අතවර,  වධ හිංසාවන්ට පාත්‍ර  වන බවයි . වසර 2014 දී මෙය සංඛ්‍යාත්මකව 10315 කි. 

සන්ථව නම්වූ තරුණ කැලකගේ සංවිධානයෙන් පැවැත්වූ ප්‍රසංගය වනාහි  බොහෝ කලකට පසු ලන්ඩනයේ දුටු සුවිශේෂිම වූ  සංගීත සන්ධ්‍යාවක්  බව සිතමි. එය එසේ වූයේ ප්‍රතිහස්ත සංගීතඥ දර්ශන රුවන් දිසානායකයන් නිසා පමණක්ම නොවේ. එදින ඒ සුයාමයට සිය ප්‍රතිභාවෙන් එක්වූ මා අග්‍ර ගණයක ලා සළකන ප්‍රවීණ ගීත රචක, කර්තෘ රත්න ශ්‍රී විජේසිංහයන්  ද නිසාවෙනි. ඔහුගේ සහභාගිත්වය ඊළඟ ලිපියකින් දක්වමි.
ගී මන්දාව කණ්ඩායම 

THE PYTHAGOREAN SCALE

රූරි පදනම 

~ මතු සම්බන්ධයි.